තිලංග ඉල්ලා අස්වෙයි ?

2018-01-13 12:14:00       588
feature-top
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිත්වයෙන් ඉල්ලා අස්වීමට තිලංග සුමතිපාල මහතා තීරණය කර බව ලෙක්හවුස් හි නව පුවත්පත වන රැස වාර්තා කර තිබේ.

සිය දේශපාලන රාජකාරි හේතුවෙන් මෙන්ම ඉහළ පෙළේ දේශපාලන බලපෑම්ද ඊට ඉවහල්ව ඇතැයි එහි දැක්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා එම ධූරයෙන් ඉල්ලා අස් වී උපසභාපති ධූරයක වැඩ බාරගෙන ඇත්තේ එහි පෙර නිමිත්තක් ලෙස යැයිද පැවසේ.

මේ අතර ඔහුගේ තීරණය වෙනස්වීමට ක්‍රියාත්මක බංග්ලාදේශ සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දක්ෂතා ඉවහල් විය හැකි බවද දැක්වේ.

කෙසේවුවද, මේ වසරේ මැයි මාසයේ 23 වැනිදාට ආසන්න දිනකදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතය.

නව ක්‍රීඩා පනතට අනුව වසර හතරක කාලයක් ධූරයේ රැඳී සිටීමට අවසර තිබුණද තිලංග සුමතිපාල මහතා අදාළ නිලවරණය කැඳවීමට මේ අනුව තීරණය කර ඇති බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් අප විමසීමට තිලංග සුමතිපාල මහතා සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියකුගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසිමකදී ඔහු කියා සිටියේ එය සම්පූර්ණ අසත්‍ය තොරතුරක් බවයි.

ඔහු ඉවත් කිරීමට පිරිසකට අවශ්‍ය බවත්, එම කුමන්ත්‍රණයේ දිගුවක් ලෙස මෙය ක්‍රියාත්මකව ඇතැයි ද ඔහු කියා සිටියේය.

More News »