පරිසරයට හානි නොකර නත්තල සමරන්න - කාදිනල්

2017-12-24 10:57:00       746
feature-top
මේ නත්තල් සමයේදී පරිසරයට හානිවන කිසිවක් සිදු නොකිරීමට වගබලාගතයුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් නත්තල් පණිවුඩය නිකුත්කරමින් කියා සිටී.
පරිසරයට හානිකරන ප්ලාස්ටික්, පොලිතින් භාවිතය අවම කිරීම ද කළයුතුව ඇතැයි ද කාදිනල් හිමියන් සිය පණිවුඩයේ දක්වා තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

“පොලිතින් භාවිතය නිසා පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ඒ හා සම්බන්ධ පරිභෝජන භාණ්ඩ පරිහරණය අවම කිරීමටද, ඒ තුළින් පරිසර දූෂණයකින් තොරව මේ නත්තල සැමරීමටද අප අධිෂ්ඨාන කරගත යුතුයි.

නත්තල පිළිබඳව කථා කරන විට මේ ලෝකයට බිහිවී තිබෙන දරුවන් මෙන්ම ඉපදීමට සිටින දරුවන් කෙරෙහිද අප අවධානය යොමුකළ යුතුයි. ඔවුන්ගේ අයිතිවාසිකම් ගැනද කථා කළ යුතුයි. දරුවකු මව් කුසයේ පිළිසිඳගත් මොහොතේ සිට ලෝකයට බිහිවීමට ඇති අයිතිය, ඉපදුනාට පසුව ඒ දරුවගේ නිදහසට ඇති අයිතිය, තම දෙමාපියන්ගේ හා වැඩිහිටියන්ගේ ආදරය ලැබීමට ඇති අයිතිය හා ඔහුට හෝ ඇයට සුදුසු අධ්‍යාපනයක් ලැබීමට ඇති අයිතිය පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමුකළ යුතුයි. අද ලෝකය තුළ විවිධ ආකල්ප හා නා නා විධ ක්‍රියාකාරකම් නිසා දරුවන් නොමඟ යවන සමාජයක් අප ඉදිරියේ බිහිවී ඇත. ක්‍රිස්තුන් වහන්සේ කුඩා දරුවකු ලෙස අප අතර මාංශගත වීමට කටයුතු කළේ මෙම ළමා අයිතිවාසිකම් පිළිබඳව අපට අවබෝධ කර දෙන්නට හා වැඩිහිටි සමාජයෙන් දරුවන් ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධව අපගේ අවධානය යොමුකරවීමටය.

මේ නත්තල් මංගල්‍යයේදී දරුවන් ගැන පමණක් නොව වැඩිහිටි සමාජය පිළිබඳවද අප අවධානය යොමුකළ යුතුය. මෙලොව ජීවත්වන සෑම මනුෂ්‍යයකුම දේව සමානකමට මවන ලද උත්තරීතර පුද්ගලයින් ලෙස සලකා කටයුතු කිරීමටද අප උන්නදු විය යුතුයි. මනුෂ්‍යයකුගේ වටිනාකම රැඳී ඇත්තේ ඔහු හෝ ඇය සතු ධනය, බලය මත නොවේ. ඔවුන්ගේ පැවැත්මේ ගෞරවය තුළය. නත්තලේ ප්‍රීතිය බෙදාගත යුත්තේ දිළිඳුන්ට උදව් කිරීමේ ආකල්පයෙන් නොව මනුෂ්‍ය ජීවිතයේ උත්තරීතර බව සලකාගෙනය.

ඔබ සැමට සාමය, සතුට පිරි අසිරිමත් සුභ නත්තලක් වේවායිද ප්‍රර්ථනා කරමි.”

(under the courtesy of srilankamirror.lk news web)

More News »