ආර්ථිකය වර්ධනය කර ගැනීමට නම් වැඩි වශයෙන් කර්මාන්ත හා සේවා අංශයන් සඳහා අවධානය යොමු විය යුතුයි

2017-12-19 10:56:00       677
feature-top
ආර්ථිකය වර්ධනය කර ගැනීමටනම් අප වැඩි වශයෙන් කර්මාන්ත හා සේවා අංශයන් සඳහා අවධානය යොමු කළ යුතු බවත් දේශගුණික රටාවේ වෙනසක් සමඟ කෘෂිකර්මාන්තය ප්‍රතිසංවිධානය කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රත්නපුර නව නගරයේ ඉදිකරන ලද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ සඳහන් කළේ ය.

 

 මට රත්නපුරයට පැමිණ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සබරගමුව පළාත් කාර්යාලය සහ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමට අවස්ථාව ලැබුණා. රැකියා සඳහා විදේශ ගත වන්නන්ට විධිමත්පු හුණුවක් ලබාදීම මෙම කාර්යාලය හරහා සිදු කෙරෙනවා. ඒ වගේම NVQ සහතිකය ලබාදීම හරහා තම රැකියාවෙන් වැඩි ආදායමක් උපයා ගැනීමටත් ඔවුන්ට හැකියාව ලැබෙනවා. රජය ලෙස විදෙස් ගත වන ශ්‍රමිකයින්ට විධිමත් පුහුණුවක් ලබාදීමට අපි කටයුතු කළ යුතුයි.

විදේශීය ශ්‍රමිකයින් හරහා රටට ලැබෙන විදේශ ආදායම් මුදල වැඩි කිරීමට නම් ඒක පුද්ගල ආදායම වර්ධනය කර ගත යුතුයි. පුද්ගල සංඛ්‍යාව අඩු වුවත් ඒක පුද්ගල ආදායම වර්ධනය කර ගත යුතුයි. පිලිපීනය වැනි රටවල් විදේශ රැකියා නියුක්තිකයින් සම්භන්ධ සිය වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ ඒක පුද්ගල ආදායම වර්ධනය කිරීම ඉලක්ක කර ගෙනයි. ඉදිරි වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාවත් එම ඉලක්කය වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි.


මෙම සියලූ සංවර්ධන වැඩ කටයුතු ක්‍රියාත්මක වන්නේ අපේ අමාත්‍යතුමියගේ කැපවීම මතයි. ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැඩකටයුතු වෙනුවෙන් එතුමිය සතු උනන්දුව පිළිබඳව මා
සතුටු වෙනවා. අද රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ විදේශ රැකියායි. එතුමියට එම වැඩකටයුතුවලට අමතරව අධිකරණ අමාත්‍යංශයත් පැවරී තිබෙනවා. මේ වන විට විදේශ රැකියා සඳහා ඒ ඒ රටවල ඇති ඉල්ලුම සළකා බලමින් කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් මම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලේකම්තුමාට ලබාදී තිබෙනවා.


අරාබි, අප්‍රිකා කලාප වල සරණාගතයින් ලක්‍ෂ 10 ක් පමණ ජර්මනියට ඇතුළත් කර ගෙන තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව වුණේ එම රටේ ඇතිව තිබූ මිනිස් බලය හිඟයයි. එවැනි තත්ත්වයක් එදා ඇතිව තිබුණා. ලෝකයෙන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි නව රැකියා අවස්ථා අප විමසා බැලිය යුතුයි. රත්නපුරය මැණික් සඳහා පමණක් නොවෙයි විදේශ රැකියා සඳහාත් ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා. කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මැතිතුමාත් සිය අමාත්‍යංශය හරහා මේ ප්‍රදේශයට විශාල සේවයක් සිදු කරමින් සිටිනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා නම් කර ඇති සමාගම්වලින් ඊට අදාළ යෝජනා ලබා ගැනීමට පසුගිය බදාදා අපි තීරණය කළා. ඒ අනුව ඉදිරි වසරේ මුල් භාගයේදී එම තීරණ කැබිනට් මණ්ඩලයට ලැබීමට නියමිතයි. අප එතැන් සිට ඊට අදාළ වැඩකටයුතු සිදු කරනවා. ඒ වගේම ඉංගිරිය දක්වා ඉදි කෙරෙන පළමු අදියරේ වැඩකටයුතු සඳහා මූල්‍ය ප්‍රශ්නයක් ඇති නොවන බව අපේ විශ්වාසයයි.

ඒ වගේම තේ මිල සම්බන්ධයෙන් අපි වැවිලි කර්මාන්ත සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යතුමන්ලා සමගත්, ජනාධිපතිතුමා සමගත් සාකච්ඡා කරමින් ඊට විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වනවා. විශේෂයෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රයේ ප්‍රතිසංවිධානයක් ඇති කරමින් වැඩි ආදායමක් සහ වැඩි ඒකපුද්ගල ආදායමක් ලබා ගත හැකි ක්ෂේත්‍රයක් බවට පත් කළ යුතුයි. එමෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රය මේ රටේ ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන කොටසක් ලෙස හඳුනාගනිමින් එහි දියුණුවට අපි මේ වන විටත් පියවර ගනිමින් සිටින බව සිහිපත් කළ යුතුයි.


මේ වසරේ සහ ගිය වසරේ රටේ ඇති වූ අයහපත් දේශගුණික රටාව හේතුවෙන් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වුණා. මේ තත්ත්වය මත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ආණ්ඩුව මේ රට පාලනය නොකෙරුවා නම් රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ තිබුණා. 2015 අප රට භාරගන්නා අවස්ථාව වනවිට රටේ ආර්ථිකය කඩාවැටී තිබුණා. 2013 – 2014 කාල වලදී ලබාගත් ණය පියවීමට
වත් රටේ ජාතික ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ.

නමුත් අප ක්‍රමානුකුලව රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කළ නිසා මෙම ගැටළුවලට මුහුණදීමට අපට ශක්තියක් ඇති වුණා. ගංවතුර, නියඟය, අධික වර්ෂාව ආදී විවිධ හේතූන් නිසා රටේ ප්‍රධාන ආර්ථිකයන් දෙකටම බලපෑම් එල්ල වුණා. ඉන් පළමු වැන්න ගෙදර ආර්ථිකයයි. දෙවැන්න රටේ ආර්ථිකයයි. රටේ අයහපත් දේශගුණික තත්ත්වයත් නිසා ආහාර නිෂ්පාදනය අඩු වුණා. අද රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ඉහළ ගොස් තිබෙන්නේ එම නිසයි. මේ තත්ත්වය සැලැකිල්ලට ගෙන සහන මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ 08 ක් ජනතාවට ලබාදීමට අප දැන් තීරණය කර තිබෙනවා.

සහල්, සීනී, හාල්මැස්සන්, ටින් මාළු, අල, ළුෑණු ඇතුළු ප්‍රධාන ආහාර වර්ග 08 ක් ඊට ඇතුළත්. විශේෂයෙන් සතොස, කාගීල්ස්, ජෝන් කීල්ස්, ලාෆ්ස්, ආර්පිකෝ ආදී පෞද්ගලික සමාගම් හා ඔවුන්ගේ බෙදාහැරීමේ යාන්ත්‍රණත්, සිලෝන් බිස්කට්, ලියෝ බ්‍රදර්ස් වැනි සමාගම් ද එකතු කර ගනිමින් රටේ සියලූම ප්‍රදේශවල සිල්ලර වෙළඳසැල් සඳහා ප්‍රවාහණය කිරීමට අවශ්‍ය කටයුතු අප සිදු කරනවා. ඒ සඳහා අවශ්‍ය දිරිගැන්වීම් එම පුද්ගලික සමාගම් වෙත ලබා දීමටත් අප කටයුතු කරනවා.


කාගීල්ස් සමාගම සිය මිල අඩු කිරීම ඊයේ නිවේදනය කළා. එම මිලට භාණ්ඩ ග්‍රාමීය ප්‍රදේශ වෙත ප්‍රවාහණය කිරීම තවත් සති 02 ක් ඇතුළත සිදු කරන බවත් ඔවුන් පවසා තිබෙනවා. ඒ වගේම මෙම වසරේදී 5.5% - 6% ක් ආර්ථික වර්ධනයක් ඇති වනු ඇතැයි අප බලාපොරොත්තු වුණා. කර්මාන්ත හා සේවා අංශයන්ගේ ඊටත් වඩා දියුණුවක් ඇති වුණත් අයහපත් දේශගුණික තත්ත්වය නිසා කෘෂි කර්මාන්තයට විශාල බලපෑමක් ඇති වුණා. ඒ අනුව මේ වසරේ කෘෂි කර්මාන්තයේ වර්ධන වේගය සඳහන් වන්නේ -1.2% ක් ලෙසයි. ඒ හරහා රටේ සමස්ත ආර්ථික වර්ධනය වේගය 4% ත්, 4.2% ක් අතර නතර වුණා.


මහ බැංකුවත්, මගේ අමාත්‍යංශයත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. කෘෂිකර්මාන්තයේ ඍණ අගය නොතිබුණා නම් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 5% ත් 6% ත් අතර අගයක් ගන්නා බව එහිදී පෙනී ගියා. කෘෂිකර්මාන්තයෙන් මීට වඩා 0.5% ක හෝ වර්ධනයක් ළඟා කර ගැනීමට හැකියාවක් තිබුණා නම් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මීට වඩා ඉහළ යනවා.

ඉදිරි වසරේත් දේශගුණික රටාව පිළිබඳව අපට අනාවැකි පැවසීමට නොහැකියි. ආපදා කළමනාකරණ අමාත්‍යතුමා සමග කළ සාකච්ඡාවේදී ද ඒ බව මට පැවසුවා. එම නිසා ආර්ථිකය වර්ධනය කර ගැනීමටනම් අප වැඩි වශයෙන් කර්මාන්ත හා සේවා අංශයන් සඳහා අවධානය යොමු කළ යුතුයි. දේශගුණික රටාවේ වෙනසක් සමග කෘෂිකර්මාන්තය ප්‍රතිසංවිධානය කළ යුතු වෙනවා. මෝසම් වර්ෂාව මතපදනම් වන කෘෂිකර්මාන්තයට වඩා ජලය රඳවා ගොවිතැන් කිරීම මත පදනම් වන කෘෂිකර්මාන්තයවෙත අප අවධානය යොමු කළ යුතුයි. නමුත් ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වනවා.


එම නිසා කර්මාන්ත හා සේවා අංශ සීඝ්‍රයෙන් දියුණු කළ යුතු වනවා. මූල්‍ය සේවා, බැංකු සේවා දියුණු කරමින් ඊට අවශ්‍ය කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. හම්බන්තොට සිට මහනුවර දක්වා කර්මාන්ත ඇති කරමින් අප එම අංශයේ දියුණුවටත් කටයුතු කරනවා. මා ජෝන් සෙනෙවිරත්න අමාත්‍යතුමා හා තලතා අතුකෝරල අමාත්‍යතුමිය සමග පැවසූ ආකාරයට තවත් කාලයක් ගත වන විට ඇඹිලිපිටිය ප්‍රදේශයටත් මෙම කර්මාන්තකරණය ඇති වෙනවා.


මේ වනවිට කුරුණෑගල, කළුතර කර්මාන්ත කලාප ඇති කිරීමට අප පියවර ගෙන තිබෙන බව කිව යුතුයි. ඒ වගේම මේ ප්‍රදේශයේ මැණික් කර්මාන්තය පිළිබඳවත් අප අවධානය යොමු කරනවා. ඒ පිළිබඳව මම මුදල් ඇමැතිතුමා සමගත් සාකච්ඡා කර තිබෙනවා. ඉන් පසුව මමත්, මලික් සමරවික්‍රම අමාත්‍යතුමාත් අයි.එම්.එෆ් සංවිධානය සමග මෙම මැණික් කර්මාන්ත පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනවා. ඉන් ප්‍රතිඵල ලැබෙනවා නම් මැණික් කලාපයක් ඇති කිරීමට අපට හැකියාව ලැබෙනවා. ඒ හරහා මේ රටට ලැබෙන විදේශ විනිමය තවත් වැඩි කරගත හැකියි.

සේවා අංශයේ විශාල දියුණුවක් ද සංචාරක කර්මාන්තයේ දියුණුවක් ද අප බලාපොරොත්තු වනවා.ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා සඳහා ද ගුවන් යානා ඉන්ධන සඳහා ද අය කරන මුදල් ප්‍රමාණය අඩු කරමින් වැඩි වශයෙන් එම සේවා ලබාදීම හරහා සංචාරක කර්මාන්තයේ සීඝ්‍ර දියුණුවක් ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. සිංහරාජ අඩවිය වටා විශාල සංචාරක කලාප ඇති කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ තුළින් මේ ප්‍රදේශය දියුණු වනවා.

මේ අතර, තවත් සේවා අංශ ගණනාවක් වේගයෙන් දියුණු කිරීමට අපි සැලැසුම්කර තිබෙන බව කිව යුතුයි. ඒ වගේම තේ කර්මාන්තශාලා නවීකරණය කරමින් තරඟකාරී තේ නිෂ්පාදන වැඩසටහන්
ක්‍රියාත්මක කිරීමටත් අපි බලාපොරොත්තු වනවා. ඒ වගේම සූර්්‍යතාප බලයෙන් ක්‍රියාත්මක කරන තේ කර්මාන්තශාලා ඇති කිරීමටත් අපි සූදානම් වනවා. අනාගතයේදී අඩු මිනිස් ශ්‍රමයක් යටතේ තේ නිෂ්පාදන කටයුතු සිදු කිරීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. මෙම සියලූම අංශ දියුණු කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ නව නැම්මක් ඇති කළ යුතුයි.

කෘෂිකර්මාන්තය අඩාල වූ විට අපේ ආර්ථිකය අඩපණ විය හැකි නිසා 1977 දී මහවැලිය ඇති කරමින් සංචාරක හා සේවා අංශ දියුණු කිරීමට අප කටයුතු කළා. නමුත් වර්තමානයේදී ඊටත් වඩා ශක්තියයෙන් වැඩි ආර්ථිකයක් ගොඩනගන්ට නම් සියළු අංශ සංවර්ධනය කරගත යුතු වෙනවා.

අයහපත් දේශගුණය හරහා ජාතික ආර්ථිකයට යම් පහරක් වැදුණත් එය විනාශ නොවී බේරා ගැනීමට අපට හැකි වුණා. දැන් අපට තිබෙන්නේ රටේ ආර්ථිකය තවත් සංවර්ධනය කිරීමටයි. ඒ සඳහා
ව්‍යාපාරිකයන්, රාජ්‍ය සේවයේ නිලධාරීන් ආදී සියලුම දෙනා සිය අවධානය යොමු කළ යුතුයි. රටේ ආර්ථිකය, සීඝ්‍ර සංවර්ධනය සහ නවීකරණය මත රදාපවතින බව අප අවබෝධ කර ගත යුතුයි. මෙම විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානය හරහා පුහුණු සිසුන්ට ඉතාම හොඳ අනාගතයක් ඇති වේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙහි සේවය කරන සියලූම දෙනාට මම ස්තූතිවන්ත වෙනවා.

(under the courtesy of news.lk news web)

More News »