සතුරුවී ඇති ප‍්‍රාදේශීය සභා ඥාතියෙක් කර ගන්න

2017-12-18 05:25:00       206
feature-top
ජනතාවට සතුරුවී තිබෙන ප‍්‍රාදේශීය සභා ජනතාවගේ ඥාතියෙක් බවට පත්කර ගන්නා ඡන්දයක් කර ගත යුතු බව ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,

“ අපි ඉදිරියේ තියෙන්නේ 2015 මාර්තුවල පවත්වන්න නියමිතව තිබුණු මැතිවරණයක්. අවුරුදු තුනකට ආසන්න කාලයක් මැතිවරණය කල් ගිහිල්ලා. පළාත් පාලන ආයතනයක නිල කාලයම අවුරුදු හතරයි. ඡන්දය කල් දාන්න ආණ්ඩුවට විවිධ දේශපාලන වුවමනාවල් තිබුණා. අද අපි මේ ඡන්දයට මුහුණ දෙන්නේ 2012 වසරේදී පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ඉතාම විකෘති ඡන්ද ක‍්‍රමය යටතේ නොවෙයි. බහුපක්ෂ දේශපාලනය මුළුමනින්ම අකුලා දමා ද්විපක්ෂ දේශපාලනයකට දොරටු විවෘත කරන විකෘති ක‍්‍රමයක් තිබුණේ. 2017 සැප්තැම්බර් මාසයේදී ඒ ඡන්ද ක‍්‍රමය වෙනස් කොට,  ජනතාවට හිතවාදී මැතිවරණ ක‍්‍රමයක් ඇතිකර ගන්න ජනතා විමුක්ති පෙරමුණ දැවැන්ත කාර්ය භාරයක් ඉටුකළා. ඒ ජයග‍්‍රහණයන් සමඟ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ජනතාවට තමන්ගේ නියෝජිතයා තෝරා පත්කර ගැනීමේ අරමුණට පටහැනිව යම් දේශපාලන කඳවුරකට බලය තහවුරුකර ගැනීමේ සීමා නිර්ණයකුත් තිබුණා. මේ තත්ත්වයත් වෙනස්කර ගන්න අභියාචනා කොමිෂන් සභාවක් හරහා අපිට හැකි වුණා. ඒ අභියාචනා කොමිෂන් සභාවේ සභාපති හැටියට කටයුතු කළ අශෝක පීරිස් මැතිතුමා ඒ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ නීතිඥ උපුල් කුමරප්පෙරුම මැතිතුමාත් මේ සමුළුවට සහභාගී වී ඉන්නවා. මේ වගේ ජයග‍්‍රහණ එක්කයි මේ මැතිවරණයට අපි එකතු වෙලා ඉන්නේ.

මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කණ්ඩායම මැතිවරණය කල් දාගන්න අධිකරණ කි‍්‍රයාමාර්ගවලට ගිය බව අපි දන්නවා. ඉන් දවස් තුනකට පස්සේ එතුමා පාර්ලිමේන්තුවට ආවා. එතකොට අපි කතාකරමින් සිටියා. එදා අපි එතුමාට බල කරලා, අභියෝග කරලා, කිව්වා ඔයාගේ චක්ගෝලයන්ට කියලා මේ නඩුව ඉල්ලා අස්කර ගන්න කියලා. ඡුන්දය කල් දාන්න පවරා තිබුණු නඩුව සතියක් යනකොට ඉල්ලා අස්කර ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ මෙම මැතිවරණයට අවතීර්ණ වෙන්නේ ඡුන්දය කල්දාන්න ආණ්ඩුව විවිධ උපක‍්‍රම අනුගමනය කළ වෙලාවක, ඒ සියලූ කුමන්ත‍්‍රණ පරාජය කළ ජයග‍්‍රහණයත් එක්කයි. පළාත් පාලන මැතිවරණය කියන්නේ ජනතාවගේ ගම්වල තිබෙන ප‍්‍රශ්න විසඳා ගන්න නියෝජිතයන් පත්කර ගන්නා මැතිවරණයයි. නමුත් තෝරා යැවූ අය කරල තියෙන්නේ මොනවාද? පුවත්වල පළවූ තෝරාගත් කිහිපයක් ගැන මම කියන්නම්.

‘මාවනැල්ල ඩිපෝ අධිකාරිට අරණායක සභාපති පහරදෙයි’, ‘නියාගම සභාපතියි, ගෝලයොයි යුවලකට තුවාල වෙන්න ගහලා’, ‘කොලොන්නාව නගර සභාවේ සභාපති, උප සභාපති සමග ගුටි හුවමාරුවක’, ‘සිසුන් හතරක් සහ සිසුවියන් හතර දෙනෙකුට පහරදුන් හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර සොයා පොලිස් පරීක්ෂණ’, ‘බැංකුවට පැන බිරියට පහරදුන් සන්ධාන මන්තී‍්‍ර අල්ලන්න අධිකරණ නියෝගයක්’, ‘පොස්පේට් සේවකයන්ට පහරදුන් තලාව ප‍්‍රාදේශීය මන්තී‍්‍ර රිමාන්ඞ් භාරයට’, ‘පුද්ගලයෙකුට පහරදීම නිසා බියගම ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්තී‍්‍ර අත්අඩංගුවේ’, ‘සංචාරක හෝටලයේ කළමනාකරුට පහරදී දේපළවලට හානි කළ බදුල්ල නගර සභාවේ සන්ධාන මන්තී‍්‍ර රිමාන්ඞ් භාරයේ’, ‘කාන්තාවකට පහරදුන් කතරගම මන්තී‍්‍ර ඇපමත මුදාහරී’, ‘පොලිස් කොස්තාපල්ට පහරදුන් ඇඹිළිපිටිය ප‍්‍රාදේශීය සභා සභාපති රිමාන්ඞ් භාරයේ’, ‘වාරිමාර්ග නිලධාරියෙකුට  පහරදුන් කරුවලගස්වැව සභාපති රිමාන්ඞ් භාරයේ’, ‘මීගමුව නගර සභාවේ සන්ධාන මන්තී‍්‍ර ජේලර්ගේ කන පලයි’, ‘පෑලියගොඩ සභාපති සහ උපසභාපති ගුටි ඇන ගනිති’, ‘බුලත්සිංහල පොලිසියට පහරදුන් ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ගමෙනුත් පැන ගිහින්’, ‘දැරණියගල ප‍්‍රාදේශීය සභා සභාපති කී‍්‍රඩකයෙකුට පහරදී අත්අඩංගුවේ’,  ‘වෛද්‍යවරයෙකුගේ බිරියකට තර්ජනය කළ සන්ධාන මන්තී‍්‍රට ලක්ෂ දෙකක ඇප’,  ‘බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපති උපසභාපතිගේ දතක් ගලවයි’, ‘අල්ලස්ගෙන වලල්ලාවිට ප‍්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට’,  ‘යටියන්තොට ප‍්‍රාදේශීය සභා සභාපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවට’,  ‘හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිගේ හොර වාහන අටක් අල්ලයි’, මේ වගේ තව විශාල ලැයිස්තුවක් මා අතේ තිබෙනවා. පසුගිය කාලය පුරාම, හොරුන්ගේ දූෂිතයන්ගේ සහ දාමරිකයන්ගේ ගුහාවක් බවට ප‍්‍රාදේශීය සභා පත්කරගෙන තිබුණා.

ඒ නිසා, අද අපිට වගකීමක් පැවරී තිබෙනවා. දූෂිතයන්ගේ, පාදඩයන්ගේ, සල්ලාලයන්ගේ තිප්පොළවල් බවට පත්වී තිබෙන, මේ ප‍්‍රාදේශීය සභා ජනතාවගේ නියෝජිත ආයතන බවට පත්කිරීමට. ඒ අභියෝගය සහ වගකීම ජනතා විමුක්ති පෙරමුණේ ඔබ අප හැමට තිබෙනවා. අපි ඒ කාර්ය භාරය ඉටුකළ යුතුව තිබෙනවා. ඒ ඇයි? උඩ ඉන්න ජාතික මට්ටමේ වංචනිකයන්ගේ, දූෂිතයන්ගේ පාලනයේ ආරක්ෂාව වෙනුවෙන් ප‍්‍රාදේශීය සභා යාන්ත‍්‍රණය ගොඩනඟලා තිබෙනවා. ඇමතිගේ ඡුන්දයට වැඩකරන්න, ඇමතිගේ කොන්ත‍්‍රාත් එක කරල දෙන්න ඉහළ දේශපාලන යාන්ත‍්‍රණයේ බලය පහළ යාන්ත‍්‍රණයේ වංචනිකයන්ගේ, දූෂිතයන්ගේ, සල්ලාලයන්ගේ තැනක් බවට පත්කරගෙන තිබෙනවා. ගම්බිම් පිටින් ජනතාව බියට පත්කරමින් තිබෙනවා. දැරියන්ව දූෂණයට පත්කරනවා. මේ අය කි‍්‍රයා කළේ වනසරාලා වගේ. ඔවුන් විරාජමානව වැජඹුණා. මේ ප‍්‍රාදේශීය සභා හරහා හැදෙන යාන්ත‍්‍රණය ඉහළ බල අධිකාරය ශක්තිමත් කර තිබෙනවා. ඒනිසා මේ පළාත් සභා මැතිවරණයේදී ඉහළ පාලන පාදඩ යාන්ත‍්‍රණය ගම් මට්ටමින් බිඳවට්ටා දුර්වල කොට, ජනතා විමුක්ති පෙරමුණේ යාන්ත‍්‍රණය ජයග‍්‍රහණය කොට, ශක්තිමත් මට්ටමින් ඔසවා තැබිය යුතුයි.  ඉහළ පාදඩයන්ගේ ආරක්ෂාව, රැුකවරණය සහ බලය ශක්තිමත් කළ පහළම තැනින් එය බිඳ දැමීම ආරම්භ කළ යුතුයි.

අපි හමුවේ තවත් අභියෝග ගණනාවක් තිබෙනවා. අපේ රටේ සම්පත් සියල්ල විකුණමින් යන ආර්ථික ගමන රනිල් වික‍්‍රමසිංහ යටතේ පසුගිය අයවැයෙන් වේගවත් කර තිබෙනවා. හම්බන්තොට වරාය ඩොලර් මිලියන 1400කට අනූනව අවුරුද්දකට බදු දුන්නා. මලික් සමරවික‍්‍රම පසුගියදා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයකින් මේ බදුගත් සමාගම ලංකාවේ තියෙන සියලූ බදුවලින්  අවුරුදු 32කට නිදහස්. අවුරුදු 26ක ලාභාංශවලින් නිදහස් කළා. ඒවගේම සේවකයන් විදිහට ඉන්න ඉහළ කළමනාකාරිත්වය උපයනවිට බද්දෙන් නිදහස් කළා. අපේ රටේ සමස්ත ජාතික සම්පත් විකිණීමේ දිශාවට ආර්ථික ප‍්‍රතිපත්තිය සකස් කර තිබෙන බව, ‘1978 දී පටන් ගන්නා ලද ආර්ථිකය ලිහිල් කිරීමේ ක‍්‍රමානුකූල ගමන වේගවත් කිරීමට යෝජනා කරනවා’. යනුවෙන් ප‍්‍රකාශ කළා. අපිට තව මොනවාද ලිහිල් කරන්න ඉතිරිවෙලා තියෙන්නේ. ගොවි ජනතාව අතේ තිබෙන ඉඩම් ටිකත් දැන් විකුණා දාන්නයි උත්සාහ කරන්නේ. මේකට ඉඩම් කැබලි කිරීමේ නීතිය ලිහිල්කර තිබෙනවා. ඒවගේම තට්ටු නිවාස විදේශිකයන්ට විකිණීමේ නීතිය ලිහිල්කර තිබෙනවා. අපේ රටේ ජනතාවට ඉන්න තියෙන වාසස්ථාන පවා විකුණා දාන්න යෝජනා හදමින් තිබෙනවා.  විදේශීය සමාගම්වලට අපේ රටේ ඉඩම් මිලදී ගැනීමේ බාධාවන් ඉවත් කරනවා. තමන්ගේ ෆෙන්ෂන් එක අරගෙන ස්ථාවර තැන්පතු දාල ජීවත්වෙන ලක්ෂ ගණනක් අසීරුතාවයට පත්කරමින් පෞද්ගලික මූල්‍ය ආයතන කඩා වැටෙමින් තිබෙනවා. අපේ රටේ මූල්‍ය වෙළඳ පොළේ ප‍්‍රධාන නිර්ණායකය හදන්නේ ලංකා බැංකුව සහ මහජන බැංකුව. මේවගේ මූල්‍ය වෙළඳ පොළ හැසිරවීමේ බලයක් තියෙන මේ බැංකු දෙක, කොටස් වෙළඳ පොළේ විකුණන්න සූදානම් වී තිබෙනවා.

අපේ රටේ නිෂ්පාදකයන්ගේ ආරක්ෂාව මේ දක්වා සකසා තිබෙන්නේ ශක්තිමත් පාලනයන් නිසා. වැලිමඩ අලවලට ඉන්දියාවෙන් එන අලත් එක්ක තරග කරන්න බැහැ. ඉන්දියාවේ නිෂ්පාදන පිරිවැයට වඩා අපේ රටේ නිෂ්පාදන පිරිවැය බෙහෙවින්ම ඉහළයි. අපේ රටේ ජාතික නිෂ්පාදනය ආරක්ෂාකර ගත හැකි වන්නේ, විවිධ ආරක්ෂණ පියවර හරහා. හැබැයි ඒ ආරක්ෂණ පියවරයන් මුළුමනින්ම අත්හරින්න කි‍්‍රයාකරමින් තිබෙනවා. අපේ රටේ බිස්කට් නිෂ්පාදනයෙන් 90%කට වඩා සම්පූර්ණ කරන්නේ, ස්වදේශික නිෂ්පාදනයන්ගෙන්. හැබැයි ආණ්ඩුව කරමින් ඉන්නේ ඉන්දියාවේ බි‍්‍රටැනිකා කියන බිස්කට් වර්ගය සුපර්මාකට් ජාලයකම බෙදා හරින්න පටන්ගෙන තිබෙනවා.  මේ හුරු කිරීමෙන් පස්සේ ඉන්දියාවේ බිස්කට් කර්මාන්ත ශාලාවක් අනිවාර්යයෙන් ලංකාවට ගේනවා. බිස්කට් කර්මාන්තයෙන් සන්තෘප්ත වෙච්ච අපේ රට එයින් මුළුමනින්ම බිඳ වට්ටනවා. අපේ රටේ සපත්තු නිෂ්පාදනයෙන් 60%කට වඩා වැඩි ප‍්‍රමාණයක් නිෂ්පාදනය කර ගනිමින් ඉන්නවා. කී‍්‍රඩා සපත්තු සඳහා බදු ඉවත් කරන බව කියමින් ඒ කර්මාන්තයත් බිඳ වට්ටමින් ඉන්නවා. අපේ තියෙන සියලූ ජාතික නිෂ්පාදන බිඳදාන්න රේගු බදු, නිදහස් කිරීම්වලින් සූදානම් වෙනවා. මේ වන විට භාණ්ඩ සීයකට දී තිබෙන රේගු බදු නිදහස භාණ්ඩ වර්ග 1200ක් දක්වා වැඩි කරන්න යනවා. මේ විනාශකාරී ආර්ථික ප‍්‍රතිපත්ති පරාජයට පත්කළ යුතුයි.

දැන් අප ඉදිරියේ තියෙන පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව යොදා ගන්නේ කවර අරමුණකින්ද? යන්න අප සලකා බැලිය යුතුයි. රටේ සියලූ සම්පත් විකුණා දමමින් දැනට ඉතිරිවී තිබෙන නිෂ්පාදන කර්මාන්ත පද්ධතිය බිඳ දමා ගෙන යන විනාශකාරී ආර්ථික ප‍්‍රතිපත්තිය ගෙවීගිය අවුරුදු දෙකහමාර ඇතුළත අවශ්‍ය පරිදි වේගවත් කර ගන්න බැරිවී තිබෙනවා. මේ පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ලබන කවර හෝ ජයග‍්‍රහණයන් තිබුණ හොත් ඔවුන්ට තිබෙන යම් බාධාකාරී සීමාවන් ඉවත්කර ගන්න ලයිසන් එකක් හැටියට ඒක පාවිච්චි කරනවා. රනිල් වික‍්‍රමසිංහලාගේ, මලික් සමරවික‍්‍රමලාගේ මේ විනාශකාරී ආර්ථික ගමන පරාජයට පත්කරන්න නම්, එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අනිවාර්ය ලෙස පරාජයට පත් කළ යුතුයි. එනිසා එය පරාජයට පත්කිරීමේ අභියෝගය අපිට තිබෙනවා. එය පරාජයට පත්කරන්නත් වරායේ, තෙල් සංස්ථාවේ, පුල්මුඩෙයි ඛනිජ වැලි නිධියේ සේවකයන්ට සටන් කරන්න ශක්තියක් ලැබෙන්නේ මේ මැතිවරණයෙන් විනාශකාරී ආර්ථිකයට ජනතාවගේ අනුමැතියක් නැති බව ඔප්පු කිරීමෙන් විතරයි. ගම්වල මැතිවරණයට තරග කරන අපේක්ෂක, අපේක්ෂිකාවන් හැටියට ඔබවෙත පැවරී තිබෙන්නේ ඒ අභියෝගය ජය ගැනීමයි.

එක පැත්තකින් රනිල් වික‍්‍රමසිංහගේ කණ්ඩායමත්, අනික් පැත්තෙන් මහින්ද රාජපක්ෂ නායකයා නොවන ජී.ඇල්. පීරිස් නායකයා වන පොදුජන පෙරමුණත්, මෛතී‍්‍රපාල සිරිසේන මහත්මයාගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත් මේ මැතිවරණයට ඉදිරිපත්වී තිබෙනවා. මේ පාර්ශ්ව තුනම අපිට එරෙහිව මැතිවරණ භූමියේ ඉන්නවා. මේ අය එකම කඳවුරක කොටස් තුනක් බව තේරුම් ගන්න  ඕනෑ. කඳවුරු තුනක් නොවෙයි. හරියට තල් රායි, පොල් රායි, කිතුල් රායි වගේ. තුනම තාල වර්ගයේ ගස්. තුනටම මුදුන් මුලක් නැහැ. හැබැයි මේ ගස් තුනේ කොළ එකිනෙකට වෙනස්. ඒවගේ තමයි එකම කඳවුරක මේ කණ්ඩායම් තුනත්. මේ මැතිවරණයේදී තමන් ළඟ තියෙන ආණ්ඩු බලය ගමේ සංවර්ධනයේදී යොදවන්න තමන්ට ඡුන්දය දෙන්න කියලා රනිල් වික‍්‍රමසිංහ කියනවා. මේ කතාව බොරුවක්. ඇඹිළිපිටියේ ගමකින් ලියුමක් එවල තිබුණා, ඒ ගමට යන්න පාලමක් හදලා දෙන්න කියලා. මාර්ග සංවර්ධන අධිකාරියට මම ඒ ලිපිය යොමු කළා. ඒ නිලධාරීන් ගමට පාලම හදල දුන්නා. අපි ඒ දේ කළේ ආණ්ඩු බලය තිබිලා නොවෙයි. රාජ්‍ය ආයතනවල නිලධාරීන් පවා දැන් තේරුම්ගෙන තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණ යම් ඉල්ලීමක් කරන්නේ, තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් නොවන බව. ප‍්‍රාදේශීය සභාවල අපිට ලබාදෙන බලය තුළින් මෙන්න මේ වගේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න පුළුවන්.

මහින්ද රාජපක්ෂ කියන්නේ රට බෙදීම වළක්වන්න තමන්ට ඡුන්දය දෙන්න කියලයි. මේක රටේ ඉරණම තීරණය කරන ඡුන්දය කියලා ඔවුන් දිගින් දිගටම කියනවා. රට බෙදන එක වළක්වන්න ජී. එල්.ගේ පක්ෂයට ඡුන්දය දෙන්න කියන එකයි, ඔවුන්ට ඉතිරිවී තිබෙන්නේ. බොරු දේශපේ‍්‍රමිත්වය මේ ඡුන්දයේදී ද, පාවිච්චි කරනවා. මාතෘ භූමිය පිළිබඳවත්, රටේ ජනතාව පිළිබඳවත් ඔවුන්ට තියෙන්නේ ව්‍යාජ රඟපෑමක් විතරයි. ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොට්ඨාසයන් තුනේම සම අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාතිකත්ව වශයෙන් නොබෙදී සිටිය යුතු රට බෙදීමට විරුද්ධ ස්ථාවරයකයි. ඊටත් වඩා වැඩි බරකින් අපේ රටේ ජාතිවාදයටත් විරුද්ධයි. ජාතික අසමානතාවයටත් ඒ වගේම විරුද්ධයි. ජාතික සමගිය වෙනුවෙන් හැම ජන කොට්ඨාසයකම සම අයිතිය වෙනුවෙන්  එකමුතු වී සටන් කරන, මේ රටේ එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. අනික් පැත්තෙන් මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයාගේ කණ්ඩායම ඉන්නවා. මේ කඳවුරු තුනක් නොවන බව දැන් හොඳටම පැහැදිලියි. මෙච්චර කාලයක් ඒ බව හංගලා තිබුණා. හැබැයි මේ ගෙවීගිය දින කීපය ඇතුළේ මේ සියලූ දෙනාම එක කඳවුරක බව වෙන කවරදාටත් වඩා හොඳින් ඔප්පුකර තිබෙනවා.

මේ වන විට ජනතාවගේ සතුරු භාවයට පත්වී තිබෙන මේ ප‍්‍රාදේශීය සභා ජනතාවගේ ඥාතියෙක් බවට පත්කර ගන්නා මැතිවරණ ජයග‍්‍රහණයක් ලබාගන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. පළමුව දූෂණය නතර කරනවා. දෙවනුව කාර්යක්ෂමතාවය ඇති කරනවා. පළාත් පාලන ආයතනවලට පැවරී තිබෙන කාර්ය භාරය අතරින් ප‍්‍රමුඛම වැඩටික අපි ඉටුකරනවා. මේ ජයග‍්‍රහණ ලබාගත හැක්කේ ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතාවගේ ජීවිත සමග බද්ද වුණු ප‍්‍රාදේශීය සභා බලය ජනතා විමුක්ති පෙරමුණට වැඩි වශයෙන් ලබාදීමෙන් පමණයි. ලස්සන නගරයක්, සුන්දර පරිසරයක් සහිත ප‍්‍රාදේශීය සභාවක් ගොඩනඟා ළමා හා මාතෘ සායන පහසුකම් සහිතව  ගොඩනඟා අනාගත පරම්පරාව ගොඩනැගීමේ අත්තිවාරම දමනවා. මේ කාර්ය භාරය ඉටුකිරීමට ජනතා විමුක්ති පෙරමුණේ කැපවීම ඉහළින්ම ලබාදෙන මේ අපේක්ෂක අපේක්ෂිකාවන් ගම්මට්ටමේදී ජයග‍්‍රහණය කිරීමේ කාර්ය භාරය ඉටුකළ යුතුව තිබෙනවා. මේ රට නව දේශපාලන සංස්කෘතියකට රැගෙන යන මුල් පියවර වශයෙන් එළඹෙන පළාත් පාලන මැතිවරණය සියලූම ජයග‍්‍රහණයන් ලබා ගැනීමට ඔබ වෙත පැවරී තිබෙන කාර්ය භාරය ශක්තිමත්ව නොපිරිහෙළා ඉටුකරාවි කියන විශ්වාසයෙන් යුතුව ඊට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා ! කියල ප‍්‍රාර්ථනා කරනවා.

(under the courtesy of adaderana news web)

More News »