ජෝතිගේ ගීත ගැයූ නලීන් පොරේරාට වැඩ වරදී

2017-12-09 11:24:00       684
feature-top
2018 ජනවාරි 10 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මේරියන්ස්‌ සංගීත කණ්‌ඩායමේ නායක නලින් පෙරේරාට නොතිසි යැවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු එම්. යූ. සමරවර්ධන නියෝග කර ඇත.

නැසීගිය අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ පවුලේ ඥාතීන්ගේ නිසි අවසරයකින් තොරව එච්. ආර්. ජෝතිපාලයන් විසින් 70 දශකයේ ගායනා කරන ලද ජනප්‍රිය ගීත ඇතුළත් ප්‍රසංගයක්‌ පවත්වා මුදල් උපයා බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කර ඇතැයි පෙන්වා දෙමින් ගොනු කර තිබූ නඩුවක්‌ සලකා බැලූ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය කළේ ය.

විත්තිකාර නලින් පෙරේරාගෙන් රුපියල් මිලියන 10ක වන්දියක්‌ අයකර දෙන ලෙසත් ඉදිරියේ දී එච්. ආර්. ජෝතිපාලගේ නාමය, ඡායාරූප හා ගායනා භාවිත කිරීම වළක්‌වමින් වාරණ නියෝගයක්‌ සහ ස්‌ථිර අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කරන ලෙසත් ඉල්ලා එච්. ආර්. ජෝතිපාලගේ බිරිඳ සහ දියණියන් විසින් එම නඩුව පවරා තිබිණි.

විත්තිකාර නලින් පෙරේරාගේ සංගීත වෘන්දය 2017.01.22 දින කොළඹ නෙළුම්පොකුණ රඟහලේ ප්‍රසංගයක්‌ පවත්වා ලාබ ඉපැයූ බවත් නීතිඥ නලින් සමරකෝන් මගින් ගොනුකර තිබූ මෙම නඩුව මගින් එච්. ආර්. ජෝතිපාලයන්ගේ බිරිඳ ඇතුළු දියණියන් අධිකරණයට පෙන්වා දී තිබේ.

එකී ප්‍රසංගය සඳහා එච්. ආර්. ජෝතිපාලයන්ගේ නාමය, ඡායාරූප හා ගායනා යොදා නොගන්නා ලෙසට විත්තිකරු අමතා ඉල්ලා සිටි නමුදු ඔහු එම ඉල්ලීම නොසලකා වාණිජ ලාබ උපයා ගැනීමේ අදහසින් දිගින් දිගටම ප්‍රසංගයේ ප්‍රචාරණ කටයුතු සිදුකළ බවත් පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දී තිබිණි.

විත්තිකරුගේ එකී නීති විරෝධී කටයුතු හා ප්‍රසංගය නවත්වන ලෙස අධිකරණමය නියෝගයක්‌ ඉල්ලා සිටීමට පැමිණිලිකරුවන් අදහස්‌ කළ ද ඒ වනවිටත් මුදල් ගෙවා ප්‍රවේශපත්‍ර මිල දී ගෙන සිටි රසිකයන් පිළිබඳ සිතා එසේ නොකළ බව ද පැමිණිලිකරුවන් අධිකරණයට පෙන්වා දී තිබිණි. එකී ක්‍රියාකලාපය හේතුවෙන් රුපියල් මිලියන 10ක අලාභයක්‌ පැමිණිල්ලට සිදුව ඇති බව දන්වා විත්තිකරු වෙත එන්තරවාසියක්‌ එවන ලද නමුත් ඊට නිසි පිළිතුරක්‌ එවා නොමැති බව ද පැමිණිලිකරුවන් පෙන්වා දී ඇත.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ නලින් සමරකෝන්ගේ උපදෙස්‌ මත චින්තක ප්‍රනාන්දු සමග නීතිඥ තරිඳු රාජකරුණා පෙනී සිටියේ ය.
(under the courtesy of hitnews.lk news web)

More News »