දුම්රිය එන්ජින් රියදුරන් මේ වන විට වැඩවර්ජනයේ

2017-12-07 08:52:00       709
feature-top
දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් මේ වනවිට වැඩවර්ජනයක යෙදී සිටිනවා.

මෙම වැඩවර්ජනය ආරම්භ කෙරුණේ ඊයේ (06) මධ්‍යම රාත‍්‍රියේ සිටයි. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය විසින් වැඩවර්ජනය කැඳවා තිබෙනවා.

නිසි පටිපාටියෙන් බැහැරව සිදු කෙරෙන බව කියන නව බඳවා ගැනීම් සඳහා විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය කැඳවූ බවයි එහි ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ. 

දුම්රිය එන්ජින් රියදුරන්ගේ මෙම වැඩවර්ජනය නිසා දුම්රිය ධාවනයට අද (07) බාධා සිදුවිය හැකියි. අද දුම්රිය ධාවනය වන්නේ ද නැද්ද යන්න ගැන තහවුරු කළ තොරතුරු නොමැතිදැයි නෙත් නිවුස් වෙත දුරකතනයෙන් කතා කළ ශ‍්‍රාවකයින් කිහිප දෙනෙකු ද විමසීමක් කළා. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් දුම්රිය පාලක මැදිරියෙන් ද විමසීමක් කළා. ඔවුන් පැවසුවේ සේවයට වාර්තා කරන එන්ජින් රියදුරන් සමග සාකච්ඡා කර දුම්රිය කිහිපයක් හෝ ධාවනය කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් එලෙස ධාවනය කෙරෙන්නේ කුමන දුම්රියදැයි දැන්ම කිව නොහැකි බවද දුම්රිය පාලක මැදිරිය පැවසුවා. 

දුම්රිය වර්ජනය ස්ථිරයි ලු

නියමිත පරිදි අද මධ්‍යම රාති‍්‍රයේ සිට වර්ජනය කි‍්‍රයාත්මක කරන බව දුම්රිය රියදුරන් පවසනවා. දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියාසිටියේ තම ගැටළු සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් ප‍්‍රතිචාර දක්වා නොමැති බවයි.

වර්ජනය සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් නොකළේ මන් දැයි නෙත් නිවුස් දුම්රිය එන්ජින් රියදුරු සංගමයෙන් විමසීමක් කළා. එහි ලේකම් ඉන්දික දොඩංගොඩ සදහන් කළේ වර්ජනය සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුවත් කළ බවයි.

අද කෙරෙන දුම්රිය වර්ජනය ගැන දෙපාර්තමේන්තුව කියන කතාව

අද (06) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක කරන බව පැවසෙන දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් කිසිවක් නොදැන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ සඳහන් කළේ වර්ජනය සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

වර්ජනය පිළිබඳ මාධ්‍යයට තොරතුරු දැනුම් දුන්නද දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් නිල ප‍්‍රකාශයක් සිදුකළ නොහැකි බවද ඔහු කියාසිටියා.

කෙසේවෙතත් රටේ අයහපත් කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවේ මෙවැනි වර්ජනයක් සිදුකිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ පැවසුවේ. 

එහෙත් අද මධ්‍යම රාති‍්‍රයේ සිට අඛණ්ඩව වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියදුරන් පවසනවා. එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ දුම්රිය රියදුරු සහායකයින් බඳවා ගැනීමේ ක‍්‍රමවේදයට විරෝධය පළ කරමින් වර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි. 

(under the courtesy of nethnews.lk news web)

More News »