ලොතරැයි ජයග්‍රහණයක් පෙන්වමින් ජනතාවගේ සල්ලි කොල්ල කෑ මහ මොළකරුවන් දෙකක් පොලිස් දැලේ

2017-12-05 09:06:00       720
feature-top
බැංකු ලොතරැයි  ජයග්‍රහණයක් පෙන්වමින් රටේ ප්‍රදේශ රැසක ජනතාවගෙන් මුදල් මංකොල්ල කන ලද ජාවාරම්කරුවන් දෙදෙනෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කුලියාපිටිය ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් වන මේ දෙදෙනා මේ වන විට මීගමුව හා මිනුවන්ගොඩ යන ප්‍රදේශ වල  ජීවත් වෙයි.

එක් අයෙකු මේ ජාවාරම සිදුකරගෙන යන අතරම මීගමුව ඒත්තූකාල ප්‍රදේශයේ චීන අවන්හලක් පවත්වාගෙන ගොස් ඇත.

රටේ ප්‍රධාන පෙළේ පුද්ගලික බැංකුවක සේවකයන් ලෙස පෙනී සිටිමින් මේ දෙදෙනා මේ ජාවාරම සිදු කර ඇති අතර , ලොතරැයි ජයග්‍රහණය හිමි කර ගැනීම සඳහා අවම මුදලක් බැංකුවේ තැන්පත් කළ යුතු බව කියමින් මුදල් හෝ රන් අභරණ ලබා ගෙන තිබේ.

මේ දෙදෙනා මේ ජාවාරම සඳහා සෑම අවස්ථාවේම තෝරා ගෙන ඇත්තේ නිවෙස් වල තනිවම සිටින වයසක කාන්තාවන් වීමද විශේෂයි.

එම අයගේ ද බහුතරයකගේ දරුවන් විදේශ ගතව ඇත.

2013 වර්ෂයේ සිට මේ ජාවාරම සිදු කර තිබෙන බවට මේ වන විට අනාවරණය වී ඇත.  

එදා සිට මේ  දක්වා මෙලෙස සිදු කරන ලද ජාවාරම් ගණන සියය ඉක්මවිය හැකි බවද  වාර්තා වේ.

පන්නල, කුලියාපිටිය ,මාරවිල ,මාදම්පේ යන ප්‍රදේශ වල සිදු කරන ලද ජාවාරම් දහයකට අදාළ රන් ආභරණ පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර මේ  සඳහා භාවිතා කරන ලද යතුරු පැදියද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මේ රන් ආභරණ මීගමුව ප්‍රධාන පෙලේ රන් අභරණ සාප්පුවකට හුවමාරු කර තිබී ඇත.

මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ වැඩිහිටි කාන්තාවක් රවටා රන් වල්ලක් හා මුද්දක් රැගෙන පලා යාමක් පිළිබඳව මාදම්පේ පොලීසිය දිගින් දිගටම සිදු කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේම නිවසක තිබු සී.සී.ටී.වී . කැමරා දත්ත උපයෝගී කර ගනිමිනි.

සැකකරුවන්  (04 ) පස්වරුවේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස( 08 ) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත .

මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශිරාන් පෙරේරා මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් (26169 ) වසන්ත , පොලිස් කොස්තාපල් වරුන් වන (68394 ) ගුණසේකර , (69371 ) රණසිංහ ,(88537 ) සම්පත් යන නිලධාරීන් මේ වැටලීම සිදු කරන ලදී .

(under the courtesy of adaderana.lk news web)

More News »