මඩකලපුවෙන් හමුවූ මුහුදු සත්වයින් නිසා සුනාමි එයිද ? ඇත්ත කතාව මෙන්න - Video

2017-12-05 02:28:00       746
feature-top
"මුලදී සැක හිතුනා සර්පයින් කියලා"

"මේක සුනාමියක පෙර නිමිත්තක් කියන කතාව බොරුවක්"

අද සහ හෙට  පැ.කි.මී 50- 60 වගේ ප්‍රමාණයක තද සුළං......

මඩකලපුව - නාවලඩි ප්‍රදේශයේ මාදැල් ධීවර කර්මාන්තයේ නියැලුණු ධීවරයින්ට මුහුදු ආදන් විශේෂයක් හමුවීම සම්බන්ධයෙන් අනිටු බියක් ඇති කරගත යුතු නැති බව නාරා ආයතනය සදහන් කරනවා.

සමුද්‍ර ජීව විද්‍යා අංශයේ (නාරා ආයතනය) අංශ ප්‍රධානී සිසිර හපුතන්ත්‍රි මහතා පැවසුවේ මෙය සුනාමියන පෙර නිමිත්තක් යන කතාවේ සත්‍යතාවයක් නොමැති බවයි.

මේ අතර දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්කේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ නිසා අද සිට උතුරු - නැගෙනහිර පළාත්වල සහ විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

ඒ අනුව අඩු පීඩන කලාපය දිවයිනට කි.මී. 1100 පමණ දුරින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනයවී තිබෙනවා.

මේ අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සෙසු ප්‍රදේශවල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව පළාත් වල ඇතැම් ස්ථානවලට සාමාන්‍යයෙන් තද වැසි (මි.මි. 75 පමණ) ඇති වනු ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත් වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රීක්ක වලත් විටින් විට හමන (පැ.කි.මී. 50 ක්පමණ) තරමක් තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ.

මේ අතර පීඩන අවපාතයක් ලෙස වර්ධනය වන කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඊයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා තිබුණා.

– සරත් ප්‍රේමලාල් - අධ්‍යක්ෂ ජනරාල් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

- විශේෂයෙන් 5-6 වෙනකොට ඒ කියන්නේ හෙට හා අනිද්දා වෙනකොට 50- 60 වගේ ප්‍රමාණයක සුළං ප්‍රවේගයක් තියෙන්න පුළුවන්. විශේෂයෙන් ඒ පිළිබදව අවධානය යොමුකරන්න ඕනේ. ලොකු ගස් තියෙනවා නම් ගස්වල අතු ට්‍රිම් කරලා තියෙන එක වඩාත් ප්‍රයෝජනවත් වෙයි. ගැඹුරු මුහුදේ, ඒ කියන්නේ මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ බහුදින යාත්‍රා ගොඩක් තියෙන්න පුළුවන්. අපි දැනටමත් ඒගොල්ලන්ට උපදෙස් දීලා තියෙනවා ලංකාවේ වෙරළ කරා එන්න. මොකද තව පැය 24 ක් තුළ මං හිතන්නේ ඒගොල්ලන්ට වෙන ක්‍රමයක් නැහැ. අපි කොහොමත් කියලා තියෙන්නේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිව අමතන්න 2686686 න්. අපි ඒ ධීවර ජනතාවට සුදුසුම ආරක්ෂිත ස්ථානයන් කරායාමේ මාර්ගයන් අපිට කියන්න පුළුවන් ඒගොල්ලන්ගේ ස්ථාන අපි දන්නවා නම්. මම කියන්නේ ඒ ධීවර ජනතාවට යන්න එපා කියලා ඒ දවස් හතරේම. විශේෂයෙන් 5-6 කියන එක ධීවර කටයුතුවලින් ඉවත්වෙන්න කියලා තමයි මට කියන්න පුළුවන්.



(under the courtesy of hirunews.lk news web)

More News »