ඥානසාර හිමියන්ට අලුත්ගම බණට වඩින්න එපා කියලා

2017-11-23 01:10:00       682
feature-top
කලින් යොදාගත් බණකට වඩින්නත් අවසර ගැනීමට සිදුවී ඇති බවත් මෙහෙම ගියොත් භික්‍ෂූන් වහන්සේලාට දළදා වඳින්නත් ආරක්‍ෂක අංශවලින් අවසර ගැනීමට සිදුවන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අවධාරණය කළහ.

ඒ හිමියෝ පෙරේදා (21) එම අදහස්‌ පළ කළේ රාජගිරියේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජිත විහාරස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී උන්වහන්සේ මෙසේද සඳහන් කළේය.

“මාස කිහිපයකට කලින් යොදාගත් බණක්‌ 21 වැනිදා අලුත්ගම තිබෙනවා. එම බණට වඩින්න එපා කියලා ආරක්‍ෂක අංශ, මැති ඇමැතිවරු සහ බොහෝ පිරිසක්‌ හැම තිස්‌සෙම කතා කර කර අපට කියනවා. මේක හරි පුදුම වැඩක්‌ නේ. කලින් යොදාගත් බණකට වඩින්නත් අවසර ගන්න වෙලා. මෙහෙම ගියොත් භික්‍ෂූන් වහන්සේලාට දළදාව වඳින්නත් ආරක්‍ෂක අංශවලින් අවසර ගන්න වේවි.

ගිංතොට සිදුවීම 83 කළු ජූලිය කරන්න ඇතැම් අය උත්සාහ කරනවා. මේ තුළින් බැඳුම්කරය, ව්‍යවස්‌ථාව යන අර්බුද යට ගස්‌සවන්න ඉඩ දෙන්න බැහැ. ඇමැති රිෂාඩ් බදියුදීන්, මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන සැවොම රවටාගෙන රට විනාශ කරනවා. මෙය තවදුරටත් කරන්න දෙන්න බැහැ. අපි ඔහුට කියනවා දැන් නවතින්න කාලය හරි බව. විල්පත්තුව කපන එක වහා නතර කළ යුතුයි. මුස්‌ලිම් මිනිසුන්ට නිවාස අවශ්‍ය නම් කැලෑ නොකපා එපාර්ට්‌මන් කිහිපයක්‌ ගොඩනැඟුවා නම් ප්‍රශ්නය ඉවරයි නේ. “ යැයි ඥානසාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

(under the courtesy of asianmirror.lk news web)

More News »