පොල් සඳහා පාලන මිලක් පැනවීමට ජීවන වියදම් කමිටුවේ අවධානය

2017-11-23 08:53:00       610
feature-top
පොල් සඳහා පාලන මිලක් පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

කර්මාන්ත හා වාණිඡ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ, ඊයේ රැස් වූ ජීවන වියදම් කමිටුවේදී පොල් සඳහා පාලන මිලක් පැනවීම කෙරෙහි අවධානය යොමු වූ බවයි.

මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර මේ පිළිබඳව තීරණයක් ගන්නා බව ද ඔහු පැවසුවේ ය.

මේ වනවිට වෙළෙඳපොළේ පොල් මිල රුපියල් 85ත් 100ත් මිලක් දක්වා ඉහළ ගොස් තිබීම හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි දුෂ්කරතාවට පත් ව තිබේ.

පොල් මිල ඉහළ යාම පාලනය සඳහා රුපියල් 65 බැගින් පොල් අළෙවි කිරීමට පසුගිය දා පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගත්ත ද පාරිභෝගිකයින් චෝදනා කරන්නේ එය සාර්ථක විසඳුමක් නොවන බවයි.

කෙසේ වෙතත් පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කළේ, ලක් සතොස හරහා රුපියල් 65ක මිලකට පොල් අළෙවි කිරීමට අඛණ්ඩව කටයුතු කරන බව ය.

මේ අතර දැනට වෙළෙඳපොළේ පවතින පොල් හිඟයට පිළියමක් ලෙස කර්මාන්ත සඳහා පොල් ආනයනය කිරීම කෙරෙහි සලකා බැලිමට ද ඊයේ රැස් වූ ජීවන වියදම් කමිටුවේදී අවධානය යොමුවී තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් ක‍ළේ, ඒ සඳහා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය මගින් අධ්‍යනයක් ද මේ වනවිට සිදු කරන බව ය.

වෙළෙඳපොළේ පවතින පොල් අස්වැන්න කර්මාන්තකරුවන් විසින් වැඩි මිලක් ගෙවා මිලදී ගැනීම හේතුවෙන් ඔවුන්ට අධික නිෂ්පාදන පිරිවැයක් දැරීමට සිදුවන බව ද ජීවන වියදම් කමිටුවේදී සාකච්ඡාවට ලක් වූ බව ඔහු ප්‍රකාශ කළේ ය.

මෙම අධ්‍යනයේදී පොල් මිල ඉහළ යාම හේතුවෙන් ඇති ව තිබෙන තත්ත්වයට පිළියමක් ලෙස පොල් ආනයනය කළ හැකි ද යන්න පිළිබඳව තීරණය කෙරෙනු ඇති.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »