අපහාස නොකළ බවට කරුණු දක්වන්න රන්ජන්ට අවසර

2017-11-22 10:08:00       680
feature-top
මාධ්‍ය සාකච්ඡාවක දී අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥයන් පිළිබඳ ප්‍රකාශයක් කිරීම මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අධිකරණයට අපහාසයක් කර නැති බවට කරුණු දැක්වීම සඳහා අවස්ථාව දෙන ලෙස ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමකට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21) අවසර දී ඇත.

ඒ අනුව අදාළ ප්‍රකාශය මගින් ඔහු අධිකණරණයට අපහාස කර ඇති බවට පෙත්සමක් මගින් කර ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියෝග කර සිතාසි නිකුත් නොකළ යුත්තේ ඇයිද යන්න පිළිබඳව ලිඛිතව කරුණු දැක්වීමට අවස්ථාව දී තිබේ.

එම ලිඛිත දේශන ගොනුකිරීම සඳහා රන්ජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන්ට කල් ලබා දී ඇත.

එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය අදාළ මාධ්‍ය ආයතනයෙන් ලබා ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ‍ලේඛනාධිකාරිවරියට නියම කළේ ය.

රන්ජන් රාමනායක අදාළ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමෙන් අනතුරුවත් අධිකරණ විනිසුරුවරු සහ නීතිඥයින් ගැන විවිධ මාධ්‍ය වාර්තා පළ වූ බවත්, එවැනි ප්‍රකාශ කිරීම මේ වනවිට ජනතාව අතර සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

එබැවින් ‍එම ප්‍රකාශය අධිකරණයට අපහාසයක් ලෙස නොසලකා සිතාසි නිකුත් නොකළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

ඒ සම්බන්ධව වාචික කරුණු දැක්වී‍මක් කළ හැකි නමුත් එලෙස වාචික කරුණු දැක්වීම යෝග්‍ය නොවන බැවින් ඒවා ලිඛිතව ගොනුකරන බව හෙතෙම කියා සිටියේ ය.

අදාළ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශයක් කිරීම මගින් රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කර ඇති බවට මාගල්කන්දේ සුදත්ත හිමියන් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී ජනාධිපති නීතිඥවරයා ‍ඒ බව කීය.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, ඊවා වනසුන්දර, විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවා ඇත.


(under the courtesy of hitnews.lk news web)

More News »