මහගිරිදඹ කසල කන්ද නායයෑම ගැන හොයන්න විශේෂ පරීක්ෂණයක්

2017-11-03 01:46:00       711
feature-top
නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ මහගිරිදඹ ප‍්‍රදේශයට ශ්‍රි පාද උඩ මළුවේ සිට හා ශ්‍රි පාද බගවාලෙන ප‍්‍රදේශයේ සිට පසුගියදා කඩාවැටුණු කැළි කසල සහ පස්කන්ද පිළිබදව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිළධාරින් පිරිසක් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.

ඊයේ(02) දිනයේ දී මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා පරීක්ෂණ නිලධාරීන් එම ස්ථානය ගොස් ඇති බව වාර්තා වෙයි.

පසුගියදා ශ්‍රී පාද උඩ මළුව ප‍්‍රදේශයට අඛණ්ඩව ඇදහැලූණූ ධාරානිපාත වර්ෂාවත් සමඟම ශ්‍රී පාද උඩමළුවේ පහළට ගෙන ඒමට එක් රැස්කර තිබු කැළි කසල තොගයක් පහළට කඩාගෙන විත් මහ ගිරිදඹ ප‍්‍රදේශයේ රැදී තිබුණු බව අද දෙරණ වාර්තා කළේය.

එසේ රැඳී තිබු කැළි කසල සහ පස් ලක්‍ෂපාන යුද හමුදා කදවුරේ භට පිරිස් සහ නාවික හමුදාව, නල්ලතන්නිය පොලිසිය, සිවිල් ආරක්‍ෂක බලකායේ නිළධාරින් එක් වෙමින් මේ වන විට ඉවත් කර එම මාර්ගය යථා තත්ත්වයට පත්කර තිබේ.

එම පස් කන්ද සහ කැළි කසල කන්ද කඩා වැටිමෙන් මහා ගිරි දඹ ප‍්‍රදේශයේ ආරක්‍ෂිත වැටටද දැඩි අලාභ හානි සිදුවි තිබුණි. 

එම පස්කන්ද සහ කැළි කසල පහළට කඩා වැටිමෙන් පසු තවත් එවැනි අවධානම් තත්ත්වයක් තිබේ ද යන්න පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිළධාරින් පරික්‍ෂා කර ඇත.

ඊයේ සිදු කරනු ලැබු වාර්තාව ලබන සතියේ ලබා දෙන බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පවසයි.

(under the courtesy of adaderana.lk news web)

More News »