මහලුවිය පමාකර ගන්න ඖෂධීය තෙල් සාත්තුව

2017-10-17 10:00:00       582
feature-top
මැදි වයස පසු කරමින් මහලු වියට පා තැබීමත් සමඟ බොහෝ උදවිය සිතන්නේ " අපි දැන් වයසයි, අපිට දැන් ඉස්‌සර වගේ සවි ශක්‌තිය නැහැ", යනුවෙනි. ළමයින් ගේ මනස තුළ තැන්පත් වන්නේද එවන් වූ හැඟීමකි. එනම් තාත්තා අම්මාට දැන් කිසිම දෙයක්‌ බැහැ යන කාරණාවයි.
 
 එමෙන්ම නූතනයේ කාර්ය බහුලකම හමුවේ දරුවන්ට දෙමාපියන් අතහැරීම නිසාවෙන්ද මව්පියෝ හුදකලාව ජීවත් වන ආකාරයක්‌ සමාජය හමුවේ දක්‌නට ඇත. වැඩිහිටි පරම්පරාව අකාර්යක්‍ෂමතාවයට පත්වීමට මෙම හුදකලාවීම යන කාරණාවද ප්‍රබල සාධයක්‌ වී ඇති බවට සමාජය හමුවේ බොහෝ සාධක ඇත. එවැනි වූ පසුබිමක බොහෝ වැඩිහිටියන් සිතන්නේ මරණය පිළිබඳ වූ කාරණාවය.
 
 වයසට යැම යනු සම, ස්‌නායු, අස්‌ථි, පද්ධති සහ ශරීර කොටස්‌ ක්‍රමයෙන් අක්‍රීය තත්ත්වයට පත් වීමයි. එවිට වයෝවෘද්ධ සම වියළී, අස්‌ථි දියවෙමින් එක්‌තැන් වන තත්ත්වයට එනම් ඇල්ෂයිමර් තත්ත්වයට පත්විය හැකි අවස්‌ථා ඇති අතරම ප්‍රේත දෝෂ යෑයි තවත් වයෝවෘද්ධ පිරිසක්‌ පැත්තකට දමා ඇති අයුරක්‌ද සමාජයේ දක්‌නට ඇත. එවැනි ඇතැම්හු දේවාල ගානේ යමින් සුවයක්‌ බලාපොරොත්තු වූවත් සුවය නොලබන්නේ රෝගය නිසි පරිදි හඳුනා නොගැනීම නිසාවෙන්ය.
 
 දේශීය වෛද්‍ය ක්‍රමයේ පුරාණ සෘෂිවරුන් කළ කී අත්දුටු ප්‍රත්‍යක්‍ෂ වෙදකම අපේ රට තුළ තවමත් දුර්ලභව වුව දක්‌නට ඇති නිසාවෙන් එවැනි වූ ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකාර හමුවේ මහලු විය ජීවිතයට වදයක්‌ කර නොගනිමින් සැහැල්ලුව දිවි ගෙවන පිරිසක්‌ සිටියද බොහෝ පිරිසක්‌ මහලුවිය ජීවිතයට වදයක්‌ කර ගනිමින් ජීවත් වන්නේ දේශීය වෙදකමේ ප්‍රත්‍යක්‍ෂ ගුණ හඳුනා නොගැනීම නිසාවෙන්ය.
 
 "කරවල කෑල්ලක්‌" මෙන් වයසත් සමඟ වියෑකී යන සමට ශක්‌තියක්‌ ලබා දෙමින් ප්‍රාණවත් බවක්‌ ලබාදෙමින් දේශීය වෙදකම හමුවේ ලැබූ සුවය පිළිබඳ වූ අතීත කතා පුරාණ සෘෂිවරුන්ගේ පොත්පත්වල හොඳ අපූරුවට සටහන් කර ඇත. එමෙන්ම වයස්‌ ගත වීමත් සමඟ අක්‍රීය තත්ත්වය කරා ළඟාවන වකුගඩු අක්‌මා, පෙනහලු සහ හෘදය මෙන්ම ශරීරයේ වූ අනෙකුත් ඉන්දියන් සහ පද්ධති වෙනුවෙන් නිසි ක්‍රියාකාරිත්වය ලබා දීමට හැකි ඖෂධ වට්‌ටෝරු පිළිබඳ පුරාණ සෘෂිවරුන් සටහන් කර තිබෙන්නෙ රෝගී වු පසු ප්‍රතිකාර ගැනීමට නොව නිරෝගීව සිටින පිරිස වෙනුවෙන් මහලු විය සුවසේ ගත කිරීමට ලබාදිය හැකි ඖෂධ වට්‌ටෝරු ලෙසින් බව මෙහිදී සටහන් කළ යුතුය.
 
 අතීතයේ අපේ මුතුන් මිත්තන් යෝධ බල ශක්‌තියෙන් වැඩ කටයුතු කළේ පරිසරය සමඟ බද්ධ වී පරිසරයට ආදරය කරමින් පරිසරයේ වූ දේ අනුව ජීවිතය ගත කිරීම නිසාවෙනි. ත්‍රිශුල විඤ්ඤාණ වේදයට අනුව සත්ත්ව, ශාඛ සහ ඛනිජ යන ක්‍රම වේදයන් යටතේ ස්‌වභාවික ජීවිතයකට මග කියා දී තිබියදී පැරැන්නෝ ඒ අනුව ජීවිත ගත කරමින් මහලු දිවියද සුවසේ ගත කළ බවට පුරාණ සාධක ඇත.
 
 එහෙත් අද බොහෝ තැනෙක දේශීය වෙදකම පිළිබඳ විශ්වාසය නැති වී තිබුණත් වයසත් සමඟ දර දඬු වූ අතපය දිග හැර ගැනීමට පවා නොහැකි වූ අය වෙනුවෙන් ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකාර පුරාණ සෘෂිවරුන්ගේ පොත පතෙහි සඳහන්ව තිබීමෙන් අවබෝධ වන්නේ අතීතයේ මිනිසා වයසත් සමඟ දේශීය ඖෂධ භාවිතයට යොමුවෙමින් රෝගී වීම වළක්‌වා ගැනීමට උත්සාහයක යෙදී ඇති බවයි.
 
 අපේ පෙර රජවරු සිටුවරු හෙළ විරුවෝ ජව සම්පන්න මිනිසුන් ලෙසට රෝග ඇතිවීම වළක්‌වා ගැනීමට දේශීය ඖෂධ භාවිත කළ බවට ඕනෑ තරම් සාක්‍ෂි ඇත. ඔවුන් ඖෂධ ඔරුවල බැස සිරුරට ලබාගත් සාත්තුව කියා දෙන්නට වූ සාක්‍ෂියක්‌ ලෙසට ඖෂධ ඔරු අදත් දක්‌නට ඇත.
 
 මාසයකට වරක්‌ හෝ මාස හතර පහකට වරක්‌ හෝ කාර්ය බහුල නම් මාස හයකට හෝ අවුරුද්දකට වරක්‌වත් සර්වාංගයටම තෙල් සම්භාහනයක්‌ කර ගැනීමට හැකි නම් සැබැවින්ම එය නිරෝගී බව රැක ගැනීමට බොහෝ ඉවහල් වනු ඇත.
 
 ඉතිහාසගත සාක්‍ෂි අනුව අතීත මිනිසා දිනපතා ඖෂධීය ඔරුවල ස්‌නානය කර තිබේ. දිනපතා සිරුරේ තෙල් ආලේප කර තිබේ.
 
 තරුණ විය ඉක්‌මවීමත් සමඟ මැදි වයසට පා තැබීමේදී හෝ දේශීය ශාඛසාර, ඖෂධීය තෙල් වර්ග භාවිතයට යොමු වේ නම් අද බොහෝ දෙනෙක්‌ මහලු වයසේදී පීඩා විඳින බොහෝ රෝගවලින් මිදිය හැක.
 
 මැදි වයසේදී රෝගයක්‌ නොවූවද ඖෂධීය තෙල්, ශාඛ සාර ගුණ සිරුරට භාවිතය මගින් මහලු වයසේදී වන රෝග පීඩාදියෙන් ගැළවී ගැනීමට අද වන විට යම් පෙළඹීමක්‌ දක්‌නට ලැබීම සතුටට කරුණක්‌ බව කිව යුතුය. සැබැවින්ම මෙහිදී මතක තබා ගත යුතු වන්නේ මහලු විය යනු පැත්තකට වී අපිට ලෙඩ යෑයි කියමින් ගත කළ යුතු කාලයක්‌ නොවන බවයි.

උපුටා ගැනීම : divaina.com

More News »