සිසිලියන් තේ කර්මාන්ත ශාලාවට ස්වර්ණ සම්මානයක්

2018-10-01 01:33:00       268
feature-top

Ceciliyan Associates Pvt Ltd කළමනාකාරීත්වය යටතේ, කලවාන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සිසිලියන් තේ කර්මාන්ත ශාලාව මෑත දිනයකදී පැවැත්වුණු තේ නිෂ්පාදන සම්මාන උළෙලෙහිදිි සමස්ථ වාර්ෂික විශිෂ්ටතාව වෙනුවෙන් අසමසම තේ නිපුයැම්කරුවෙකු වීම පදනම් කර ගනිමින් ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලබන ලදී.

2018 වසර සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා තේ අපනයකරුවන්ගේ සංගමය විසිනි.

“පහතරට කලාපීය තේ” කාණ්ඩය යටතේ සබරගමුව පළාත නියෝජනය කරමින් තරග වැදුණු තේ කර්මාන්තශාලා 125 ක් අතරින් සමස්ථ ජයග්‍රාහකත්වය දිනා ගැනීමට සිසිලියන් සමත් විය. එම කාණ්ඩය යටතේම 2017 වසරේදී පළමු අනුශූරතාව දිනා ගැනීමටද එම සමාගමට හැකි විය. මෙම විශිෂ්ට ප්‍රතිඵල සපිරුණු අතීතය වනාහි ඉහළම ප්‍රමිතීන් අනුගමනය කරමින් තත්ත්වයෙන් උසස් තේ නිෂ්පාදනය කිරීම වෙනුවෙන් එම කර්මාන්තශාලාව ලබා ඇති කීර්තියේද සාක්‍ෂියකි.

මීට අමතරව, 2017 වසරේදී සබරගමුව වාණිජ මණ්ඩලය විසින් සිසිලියන් ආයතනය “වසරේ හොඳම ව්‍යවසායකයා” (සබරගමුව පළාත) වශයෙන් ඇගයීමට ලක් කළ අතරම කොළඹ තේ වෙන්දේසියේදී එම සමාගම සිය නිෂ්පාදන සඳහා එතෙක් වාර්තාගත වූ ඉහළම මිල අගයන් වාර්තා කිරීමට සමත් විය.

මෙරට විශාලතම වැසි වනාන්තරය වන සිංහරාජ වනාන්තරයට යාබදව කලවාන කඳුවැටියේ පිහිටා ඇති සිසිලියන් තේ කර්මාන්තශාලාව ස්වභාව ධර්මයට සමග තදින් පෑහෙමින් කටයුතු කරන්නකි. 1920 ගණන්වලට සිටම මෙම වතුයායෙහි තේ වගා කටයුතු සිදු කෙරී තිබේ. Ceciliyan Associates Pvt Ltd පවුලේ ව්‍යාපාරයක් වන අතර එම පවුලේ තුන්වැනි පරම්පරාවේ සාමාජික පානි එම්. ඩයස් මහතා එහි වත්මන් ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරයි. ඒ මහතාගේ කළමනාකාරීත්වය යටතේ මේ වන විට කලවාන ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් 6500 කට අධික පිරිසකගෙන් එකතු කරගනු ලැබෙන තේ දළු සැකසීම මගින් කළු තේ කිලෝ මිලියන 3.5 ක් පමණ නිෂ්පාදනය කළ හැකි මට්ටමට දියුණු වී ඇත. 1980 වසරේදී මෙම කර්මානතශාලාවට නිෂ්පාදනය කළ හැකි වූයේ තේ කිලෝ 5000 කටත් අඩු ප්‍රමාණයකි. වෙළෙඳපොල ඉල්ලූමට සරිලන පරිදි සාම්ප්‍රදායික මෙන්ම CTC තේ වර්ගද නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පහසුකම් මෙම කර්මාන්ත ශාලාව සතු වේ.

සිසිලියන් තේ කම්හල ඉහළ තත්ත්වයේ තේ නිෂ්පාදනය කරන ආදර්ශමත් ආයතනයක් වශයෙන් පිළිගැනීමට ලක් වන්නකි. IOS 22000:2005 සහ ETP ඇතුළු ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති සහතිකකරණයන්ද එයට ලැබී තිබේ. එහි ප්‍ර‍ධාන ව්‍යාපාරික අංශය ලෙස තේ නිෂ්පාදනය පවතින අතරම ඊට අමතරව රබර්, කුරුඳු, පොල් හා වී වැනි වගා නිෂ්පාදනයන්ද මේ වන විට එහි නිපැයුම් ගොන්නට එකතු වෙමින් පවතී. ස්වභාවික පරිසරයට හානි කරනු වෙනුවට එහි යහපැවැත්ම වෙනුවෙන් කළ හැකි සෑම පියවරක්ම ගැනීමට සිසිලියන් සමාගම සුපරීක්‍ෂාකාරී වෙයි.

වසරක කළු තේ කිලෝ මිලියන 3.5 ක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් සෑම විටම කැපවීමෙන් කටයුතු කරන සේවකයන් 500 කට අධික පිරිසකින් ආයතනය සමන්විතය. කුඩා පරිමාණ තේ වතු හිමියන්ගේ නොමද දායකත්වය මේ වෙනුවෙන් ලබා ගැනේ. සිය සේවකයන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් නිති කැපවීමෙන් කටයුතු කරන එම ආයතනය සේවා ස්ථාන පිරිසිදුභාවය වෙනුවෙන්ද කැප වන්නේ සියලූම අන්තර්ජාතික ප්‍රමිතීන් වෙත ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දෙන බව සහතික කරමිනි.


කොළඹ තේ වෙන්දේසිය හරහා තේ අලෙවියට වැඩි අවධානයක් යොමුකර ඇති සිසිලියන් කර්මාන්තශාලාව මේ වන විට එහි නිපදවෙන තත්වයෙන් උසස් නැවුම් තේ “සිසිලියන් තේ” සන්නාමය යටතේ ලාංකීය වෙළඳපලට හඳුන්වා දීමටද කටයුතු කර ඇත. වසර 90ක් පුරාවට දියුණු වී ඇති ශ්‍රී ලාංකීය සිසිලියන් තේ එහි සම්ප්‍රදායන්ට ගරු කරමින් පාරිභොගිකයන් හට රසවත් පිරිසිදු තේ කෝප්පයක රසය විඳීමට මෙමගින් අවස්ථාව උදාකර දී ඇත. කර්මාන්තශාලාවේ සිට කෙලින්ම සිය නිෂ්පාදන පාරිභෝගිකයින් හට බෙදාහරිනු ලබන සිසිලියන් තේ එහි නැවුම් බව සෑමවිටම සහතික කරයි.


(under the courtesy of srilankamirror.lk news web)

More News »