ඓතිහාසික ඌව වෙල්ලස්සේ ඉඩම් අක්කර හැට දෙදහසක් සිංගප්පූරුවට - ප්‍රදේශයේ පාරම්පරික ජනතාව ලේ හොලවයි!

2018-09-17 01:39:00       823
feature-top
ශ්‍රී ලංකාවේ ඉඩම් සහ දේපළ විදේශයන්ට ලබා දීම පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්වුනා.  එවැනිම තවත් පුවතක් වාර්තා වන්නේ වෙල්ලස්ස, බින්තැන්න ප්‍රදේශයෙනි.

ඓතිහාසික ඌව වෙල්ලස්‌ස, බින්තැන්න ප්‍රදේශයේ ඉඩම් අක්‌කර හැට දෙදහස්‌ පන්සියයක්‌ සිංගප්පූරු බහුජාතික සමාගමකට පවරා දීමේ සුදානමක් වාර්තා වෙනවා. බින්තැන්නේ ජනතාවගේ පාරම්පරික ඉඩම් මෙලෙසින් සිංගප්පූරු බහුජාතික සමාගමකට පවරා දීමට එරෙහිව පසුගියදා ඇකිරියන්කුඹුර දෙහිගම හේන් යාය ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශයේ ජනතාව අට සියයකට අධික පිරිසක්‌ මහජන පෙත්සමකට අත්සන් තැබූහ.

ඌව වෙල්ලස්‌ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ විසින් මෙම මහජන පෙත්සමට අත්සන් එකතු කිරීමට කැඳවා තිබූ අතර පදියතලාව, මහඔය මහියංගණය, ඇකිරියන්කුඹුර, කෙහෙල්උල්ල ආදී ගම්මාන රැසක ජනතාව දැඩි උනන්දුවකින් මේ සඳහා පැමිණ සිටියහ.

මෙය සාමාන්‍ය විරෝධතාවක්‌ නොවූ අතර මෙහි පැමිණි ජනතාව තම දකුණු අතේ මාපට ඇඟිල්ල විද ඒ ලේ වලින් පෙත්සම මත ඇගිලි අත්සන තබා ඉල්ලා සිටියේ තම පාරම්පරික ඉඩකඩම් පරදේශක්‌කාරයන්ට පවරා නොදෙන ලෙසයි.

මෙම අවස්‌ථාවට හෝලිකේ රජමහා විහාරාධිපති මූදියල ධම්මජෝති, ඇකිරින්කුඹුර දංකුඹුර විහාරාධිපති පදීදොර ධම්මසාර යන හිමිවරු සහ රිදීමාලියද්ද, මහියංගණ, පදියතලාව යන ප්‍රාදේශීය සභාවල විපක්‍ෂ හා පක්‍ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්‌ ද, ඌව පළාත් සභාවේ මන්ත්‍රී සුදත් බලගල්ල ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් රැසක්‌ද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

පැරැණි මුතුන්මිත්තන් ලේ හලා රැකගත් මේ භූමිය නැවත පරදේශක්‌කාරයන්ට පවරා දීමට සූදානම් වන්නේ නම් ලේ පුදා නොව ජීවිතය පරිත්‍යාග කර හෝ මේ භූමිය රැකගැනීමට පෙරමුණට එක්‌වන බවට මෙහි පැමිණි අටසියයකට අධික පිරිස ප්‍රකාශ කළේය.

(under the courtesy of nethgossip.lk news web)

More News »