2020දී දිනන්නේ පොහොට්ටුවයි - EIU

2018-09-17 11:42:00       819
feature-top

වසර 2020දී ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ (ශී‍්‍රලපොපෙ - පොහොට්ටුව) ජය ගන්නා බවට බි‍්‍රතාන්‍යයේ පිහිටි Economist Intelligence Unit (EIU) නමැති උපදේශන සහ ජනමත සමීක්ෂණ සේවා ආයතනය පවසයි.

වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ බලය පිරිහෙමින් පවතින බවත්, කලකිරීමට පත් ශී‍්‍රලනිප පාක්ෂිකයින් ශී‍්‍රලපොපෙ සමග අත්වැල් බැඳ ගනු ඇති බවත් එම ආයතනය සිදු කළ නවතම විශ්ලේෂණයක දැක්වේ.

පවතින රජය 2020 දක්වා පවතිනු ඇති නමුත්, පාලනයේ බහුතර බලය ගිලිහී යෑම නිසා ප‍්‍රතිපත්ති සම්පාදනයට බාධා පැමිණෙනු ඇති බව ද එහි සඳහන්ව ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහාය ලැබෙන ශී‍්‍රලපොපෙ 2020 ජනාධිපතිවරණය දිනාගෙන රජයක් පිහිටුවනු ඇති බව ද EIU කියා සිටී.

එම පක්ෂය 2018 දී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ජය ගැනීමෙන් ඒ බව සනාථ වන බව ද එයින් කියැවේ.

හිටපු ජනාධිපතිවරයාගේ ඥාතියෙකු හෝ සමීපතමයෙකු ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය ලබාගනු ඇති බවට ද EIU අනාවැකි දක්වා ඇත.

කෙසේ වුවද පසුගිය (2015) ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා දිනා ගන්නා බවට EIU විශේෂ වාර්තාවක් පළකර තිබුනද එය යථාර්ථයක් නොවීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශපාලන විශේලේෂකයකු ‘ශ‍්‍රී ලංකා මිරර්’ වෙත පැවසුයේ මෙවැනි ආයතන ලංකාව වැනි රටවල් සම්බන්ධයෙන් විධිමත් ආකාරයෙන් සමීක්ෂණ සිදු නොකොට මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින් මෙවැනි වාර්තා පළ කරන බවයි.


(under the courtesy of srilankamirror.lk news web)

More News »