ජනාධිපතිවරයා පොලිසියට දුන් නියෝගය මෙන්න

2018-09-14 09:57:00       586
feature-top

ජනාධිපතිවරයා පසුගිය 11 වැනිදා පොලිසිය ඇතුළු ආරක්‌ෂක අංශවල ප්‍රධානීන් කැඳවා හමුදා නිලධාරීන් අපහසුතාවට පත්වන අන්දමේ ක්‍රියා නොකරන ලෙස නියෝග කර ඇත.

විවිධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින හමුදා නිලධාරීන් අතරින් වැරැදිකරුවන් වේ නම් ඔවුන්ට විරුද්ධව නඩු පවරන ලෙසත්, නිරපරාදේ ඔවුන් රඳවාගෙන නොසිටින ලෙසත් ජනාධිපතිවරයා එහිදී උපදෙස්‌ ලබාදී තිබේ.

හමුදා නිලධාරීන් මෙසේ නිකරුනේ රඳවාගෙන සිටීමෙන් සිදු වෙන්නේ ඔවුන් අපහසුතාවට හා පීඩාවට පත් කිරීමක්‌ බවත්, එවැනි දේවල් මින් ඉදිරියට නොවන ලෙස වගබලා ගත යුතු බවටත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් දැනුම් දී ඇත.

විශේෂ කැබිනට්ටුවේදී ජනපතිගේ අප්‍රසාදය

මේ අතර ඊයේ (13) විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පවරනවා මිස අත්අඩංගුවට ගෙන ඔවුන් පීඩාවට පත් නොකළ යුතු බව ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

හමුදා ප්‍රධානීන් අනවශ්‍ය ලෙස අත්අඩංගුවට පත්වන අන්දමින් කටයුතු කිරීම ගැන ජනාධිපතිවරයා එහිදී අප්‍රසාදය පළකර අතැයිද පැවසේ.

මේ අතර තරුණයින් 11 දෙනකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයින්ට එරෙහිව වහාම නඩු පැවරිය යුතු බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

රාජිතගේ ප්‍රකාශයෙන් කැබිනට්ටුව නොසන්සුන් !

එම විශේෂ කැබිනට් රැස්වීමේදී ආරක්ෂක හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන හිරිහැර කිරීමට එරෙහිව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි අතර චම්පික රණවක, මහින්ද සමරසිංහ, වජිර අබේවර්ධන, ගාමිණී ජයවික්‍රම පෙරේරා, සුජීව සේමසිංහ යන අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය අනුමත කරමින් කරුණු දක්වා ඇත.

කෙසේවුවද මෙහිදී අදහස් දක්වා ඇති සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, කැබිනට් මණ්ඩලය හරහා සිදුකරන මෙවැනි බලපෑම් වලින් පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදුකර ඇති මිනීමැරුම්, පැහැරගෙන යාම්, අතුරුදන් කිරීම හා වංචා දුෂණ පිළිබඳව විමර්ශන කරන නිලධාරීන් කලකිරීමට පත්වීමේ අවධානම පැහැදිලි කර ඇත.

පසුගිය පාලන සමයේදී මෙන් නීතියට බලපෑම් නොකළ යුතු බව ඔහු එහිදී අවධාරනය කර ඇත. ඔහුගේ කතාවේදී සිදුකල ඇතැම් ආවේගාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කෝපයට පත් ජනාධිපතිවරයා රැස්වීමෙන් නැගිටයාමට දැරු උත්සහකර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ මැදිහත්වීමෙන් වලක්වා ගෙන ඇත.

ජනාධිපති කාර්යාලයේදී ඊයේ දහවල් 12.45ට පමණ ආරම්භ වූ විශේෂ කැබිනට් රැසවීම පැයකට අධික කාලයක් පැවැති අතර එහිදී සාකච්ඡා වූ කරුණු මාධ්‍යවලට නොකීමට ඇමැති මණ්ඩලයේදී එකඟත්වයක් ද ඇති කරගෙන තිබිණ.


(under the courtesy of srilankamirror.lk news web)

More News »