විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම මාසයකට නවතින ලකුණු

2018-06-25 07:06:00       706
feature-top
ශ‍්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත‍්‍රය නිකුත් කිරීම නතර වීමේ අවදානමක් මතුවීමට ප‍්‍රධාන වශයෙන් වගකිව යුතු පාර්ශව පිළිබද මේ වනවිට තොරතුරු අනාවරණ වෙමින් පවතිනවා. විදෙස් ගමන් බලපත‍්‍ර තොග ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බව, දැනට ඒවා සපයන සමාගම රජයට දන්වා තිබුණේ ඉකුත් වසරේදීයි.

ඊට අදාළව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අලූත් තොග ලබාගැනීම සදහා ඉකුත් නොවැම්බර් මාසයේදී කැබිනට් පති‍්‍රකාවක් යොමු කරනවා. එහෙත් ඊට මුදල් අමාත්‍යාංශයෙන් හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් එල්ල වන්නේ විරෝධයක්. ඒ සමග ගැටළුව පිළිබද සොයා බැලීම සදහා අමාත්‍යාංශ 3 ක ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරනවා. ඒ සති දෙකක් තුළ නිර්දේශ ලබාදෙන ලෙස දන්වමින්. එහෙත් එම කමිටුවේ පළමු රැස්වීම පැවැත්වීමට පවා මාස එක හමාරක් පමණ කල්ගත වි ඇති බවයි නෙත් නිවුස් වෙත අනාවරණ වුණේ. වත්මන් ගැටළුවට ප‍්‍රමුඛ ලෙස බලපා ඇත්තේ එම ප‍්‍රමාදය බවටද පැවසෙනවා.

එහෙත් විදෙස් ගමන් බලපත‍්‍ර තොග ක‍්‍රමක‍්‍රමයෙන් අඩුවීමේ ගැටළුව උග‍්‍රවීම මත ලක්‍ෂ 10 ක නව තොගයක් ලබා ගැනීමට කැබිනට් අනු කමිටුව තීරණය කර තිබෙනවා. ඒ, ඉකුත් මැයි 14 වනදායි.

ඊට අදාළ ඇස්තමේන්තු ලබාගැනීමට තීරණය කර ඇත්තේද දැනට ඒවා සපයන සමාගම හරහායි. ඊට අදාළ කැබිනට් පති‍්‍රකාව හෙට රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති.

එහෙත් හෙට (28) දිනයේ ඊට අනුමැතිය ලැබුණද මෙරටට විදෙස් ගමන් බලපත‍්‍ර ගෙන්වීම සදහා තවත් මාස 5 ක පමණ කාලයක් ගතවන බවටයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ. ඒ, ඊට අදාළ කි‍්‍රයාවලිය සංකීර්ණ වීම හේතුවෙන්. විදෙස් ගමන් බලපත‍්‍ර මෙරටට ගෙන්වීම සදහා ණයවර ලිපි විවෘත කිරීම දක්වා ක‍්‍රියාවලියට පමණක් මාසයක පමණ කාලයක් ගතවන බව එහිදී හෙළි වුණා.

මේ වනවිට ශී‍්‍ර ලංකාව තුළ සියළු රටවලට නිකුත් කරන විදෙස් ගමන් බලපත‍්‍ර තොග අවසන් වී තිබෙනවා. ඒ අනුව එම විදෙස් ගමන් බලපත‍්‍ර දැන් නිකුත් කරන්නේ මැද පෙරදිග රටවල් සඳහා පමණක් නිකුත් කරන විදෙස් ගමන් බලපත‍්‍රය හරහායි. එහි ඇති රටවල්වලට පහලින් සියලූ රටවල් සඳහා මෙම විදෙස් ගමන් බලපත‍්‍රයද වලංගු වන බවට මුද්‍රණය නිකුත් කෙරෙනවා.

නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ එම තොගය ද ප‍්‍රමාණවත් වන්නේ තවත් මාස 4 කට පමණක් බවයි. ඒ අනුව පවතින තත්ත්වය සැලකීමේදී මාසයකට ආසන්න කාලයක් විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම නවතා දැමීමට සිදුවීමේ අවදානමක් ඇතැයි ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් පවසනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »