මුලතිව් ඥාතීන් OMP වර්ජනයක : ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි

2018-06-03 09:47:00       682
feature-top
අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට රජය විසින් පිහිටුවා ඇති අතුරුදහන්වුවන්ගේ කාර්යාලයේ (OMP)  නියෝජිත හමුව ඊයේ (02) වර්ජනය කළ දින 450 ක් තිස්සේ උද්ඝෝෂණයක යෙදී සිටින මුලතිව් ඥාතීන්, රජය විසින් පත් කළ නව කොමිෂම සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති කියා සිටියහ.

යුධ සමයේ අතුරුදහන්වූ උතුරේ ජනතාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජාත්‍යන්තර මැදිහත්වීම මත පරීක්ෂණයක් අවශ්‍ය බවට ඉල්ලීම් කරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ (02) මුලතිව් දිස්ත්‍රික් ලේකම්කාර්යාලය ඉදිරිපස විරෝධතාවයක නිරතවුහ.

අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ නව කොමිෂම යුද්ධයෙන් අතුරුදහන්වු මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාව සම්බන්ධයෙන් තොරතුරු විමසීම ඊයේ (02) මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට විරුද්ධත්වය පළ කරමින් අදාළ පිරිස් විරෝධතාවයේ නිරතවූහ.

විරෝධතාවයට එක්වූවන් පැවසූවේ යුධ සමයේ අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට පැවති රජය හා වර්තමාන රජය කොමිෂන් සභා පත් කළද යුද්ධයෙන් අතුරුදහන්වූවන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට අදාළ කොමිෂන් සභාවන්ට හැකියාවන් නොලැබුණ බවයි.

එබැවින් ජාත්‍යන්තර මැදිහත්වීම මත පරීක්ෂණයක් පවත්වා අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සාධාරණ නීතියක් ලබාදිය යුතු බව අතුරුදහන්වූවන් ඥාතීන් පැවසූහ.

''මේක අපිව රවට්ටලා පිටරටවලට ඇස්බැන්දුමක් පෙන්නන්න හදන වැඩක්,” - මරියසුරේෂ් ඊශ්වරී

අතුරුදහන් වුවන් සොයා ගැනීම සඳහා OMP කාර්යාලය කිසිදු උපකාරයක් නොවන බව පවසන ඥාතීන් එය හඳුන්වනු ලැබුවේ ඇස් බැන්දුමක් ලෙසය.

“මේක අපිව රවට්ටලා පිටරටවලට ඇස්බැන්දුමක් පෙන්නන්න හදන වැඩක්,” යයි මාධ්‍යවේදීන් සමග කියා සිටි අතුරුදහන් මුලතිව් ඥාතීන්ගේ ප්‍රකාශිකා මරියසුරේෂ් ඊශ්වරී (Mariyasuresh Easwary) OMP කාර්යාලයේ අරමුණ ගැන පල කළේ බරපතල අවිශ්වාසයකි.

“කවුරුත් අතුරුදහන් වෙලා නෑ කියලා ආණ්ඩුව එක පැත්තකින් කියලා, අනික් පැත්තෙන් අතුරුදහන් අය හොයන්න කියලා  කාර්යාලයක් දාන එකේ තේරුම මොකක්ද? අපිට කෙලින් උත්තරයක් දෙන්න.” ඇය පැවසුවාය.

ජාත්‍යන්තරය මැදිහත්වීම ගැන සැකයක් !

මුලතිව් දිස්ත්‍රික්කයේ වැඩි දෙනකු අතුරුදහන් වී ඇත්තේ යුද හමුදාවට භාර දීමෙන් අනතුරුව බව පැවසූ ඇය කියා සිටියේ එසේ භාර දුන් තම සමීපතමයන් අත් අඩංගුවෙන් නිදහස් කර දෙන කාර්යාලයක් පිහිටුවන්නේ නම් ආණ්ඩුවේ අරමුණ ගැන යම් විශ්වාසයක් තැබිය හැකි බවයි.

OMP කාර්යාලය පිහිටුවීම ගැන සතුට පල කරන ජාත්‍යන්තර සංවිධාන පිළිබඳවද මුලතිව් අතුරුදහන් වුවන්ගේ ප්‍රකාශිකාව කනගාටුව පළ කළාය.

“ජාත්‍යන්තරයත් ආණ්ඩුවට හවුල්වෙලා ඇත්ත බොරු කරන්න ගියොත් අපේ නෑදෑයන් හොයා ගන්න බැරි වෙලාම යාවි,” යි මරියසුරේෂ් ඊශ්වරී මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

විරෝධතාවයට එක්වු අතුරුදහන්වූවන් ඥාතීන් පැවසූවේ අතුරුදහන්වූවන් සොයා ගැනීම වෙනුවෙන් අදාළ පිරිස් වෙත මරණ සහතික නිකුත් කිරීමට රජය කටයුතු කිරීමට උත්සහ කරන අතර, අදාළ මරණ සහතික තමන් පිළිගැනීමට සුදානම් නොමැති බවයි.

අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටු කළ යුතු අතර, දේශීයව පවත්වන පරීක්ෂණ වෙනුවෙන් විශ්වාසයක් නොමැති බවද අදාළ පිරිස් පැවසූහ.

සාධාරණය ඉටු කරන බවට පොරොන්දුවක් :

අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සොයා බලන කොමිෂමේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා

විරෝධතාකරුවන් හමවීමට පැමිණි අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාල නිළධාරීන් පැවසූවේ තම කාර්යාලය හරහා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙත සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන බවයි.

අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සොයා බලන කොමිෂමේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, එස්.පි.ලියනගේ මහතා, නිමල්කා ප්‍රනාන්දු මහත්මිය, මිරාක් රහීම් මහතා, කනපතිපුල්ලේ වේන්දන් මහතා, මේජර් ජෙනරල් මොහාන්ති පීරිස් මහත්මිය, පි.දීපා ශ්‍රී මහත්මිය ඇතුළු පිරිස විරෝධතාවයේ නිරත අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හමුවීම හා අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ තොරතුරු විමසීම සිදුකරනු ලැබීය.

විරෝධතාවය වෙනුවෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

(under the courtesy of srilankamirror.lk news web)

More News »