මානවහිමිකම් කෙරුමෙකුට සෝෂල්මීඩියා වැඩ නිසා හිරේයන්න වෙලා !

2018-06-01 03:15:00       696
feature-top
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිය රට "අපකීර්තියට" ලක් කිරීමේ චෝදනාව මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුට දස වසරක සිරදඬුවමක් නියම කර තිබේ.

සිව් දරු පියෙකු වන 48 හැවිරිදි අහමඩ් මන්සූර් පසුගිය වසරේ මාර්තු මාසයේදී අත්අඩංගුවට ගන්නා ලදි.

නීතිඥයෙකුගේ සහාය ලබා ගැනීමට අවසර නොදී අහමඩ් මන්සූර් සිර කර තබා ගැනීම පිළිබඳ මානව හිමිකම් සංවිධාන එමීර් රාජ්‍යයේ බලධාරීන් විවේචනයට ලක් කර තිබේ.

දඬුවමට අමතරව ඔහුට ඩිරාම් දස ලක්ෂයක දඩයක් නියම කර ඇති අතර, බන්ධනාගාරයෙන් නිදහස් කිරීමෙන් පසු වසර තුනක් පුරා ඔහුගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරනු ලැබේ.

අහමඩ් මන්සූර් සමාජ මාධ්‍යජාල ඔස්සේ "රටේ කීර්තියට හානි පමුණුවන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම" මෙන්ම "වෛරය හා බෙදීම් පැතිරීම" සම්බන්ධයෙන් වැරදිකරු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

2011 දී අත්අඩංගුවට ගන්නා ලද දේශපාලනික හෝ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා හඬ නැගූ ක්‍රියාකාරීන් පස්දෙනා අතර අහමඩ් මන්සූර් ද සිටියේය. නමුත් ඔවුන් පස්දෙනාට බලධාරීහු පසුව සමාව ප්‍රදානය කළහ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ පුද්ගලයන් වධහිංසාවලට ලක් කිරීම, අත්තනෝමතික ලෙස රඳවා තැබීම් සහ අවමානයට ලක්වන ලෙස සැලකීම්වලට එරෙහිව අහමඩ් මන්සූර් පවත්වාගෙන ගිය වැඩපිළිවෙල අගයමින් මානව හිමිකම් සුරැකීම සඳහා ලබා දෙන මාටින් එන්නාල්ස් සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය.

මැදපෙරදිග පිහිටි ධනවත්ම සහ නව තාක්ෂණික අත්හදා බැලීම් අතරින් ඉදිරියෙන් තිබෙන රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ දේශපාලන ක්‍රියාකාරකම් සීමා කර ඇත.

අබුඩාබි සහ ඩුබායි ඇතුළු ප්‍රාන්ත හතකින් සැදුම් ලත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේශපාලන පක්ෂ තහනම් කර ඇති අතර, නිල වශයෙන් පත් කළ විරුද්ධ පක්ෂයක් නොමැත.

2013 දී ආණ්ඩුව පෙරළා දැමීම සඳහා කුමන්ත්‍රණ කිරීමේ චෝදනා මත ඉස්ලාම්වාදීන් 70කට ආසන්න පිරිසකට සිර දඬුවම් ලබා දී ඇත.

පසුගිය වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තවත් අරාබි රාජ්‍යයන් කීපයක් කටාර් රාජ්‍යය සමග රාජතාන්ත්‍රික සබඳතා ඉවත්කරගත් අවස්ථාවේ දී, කටාර් රාජ්‍යයට 'අනුකම්පාව' දක්වන පුරවැසියන්ට බරපතළ දඩයක් හා වසර 15ක් දක්වා සිර දඬුවම් පමුණුවන බව නීතිපතිවරයා අනතුරු ඇඟවීය.

(under the courtesy of srilankamirror.lk news web)

More News »