'නිපා' මාරාන්තික වෛරසයෙන් ඉන්දියාවේ මරණ රැසක්

2018-05-22 11:24:00       823
feature-top
මාරාන්තික 'නිප වෛරසය' ආසාදනය වීමෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නව දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

ගතවගිය සති දෙක ඇතුළත වෛරසය ශරීරගත වූ තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර, තවත් හය දෙනෙකු සම්බන්ධ පරීක්ෂණවල ප්‍රතිඵල සඳුදා නිකුත් කිරීමට නියමිතය.

වෛරසය ශරීරගත වීමෙන් හටගන්නා රෝග ලක්ෂණ සහිත තවත් විසිපස් දෙනෙකු රෝහල්ගත කරනු ලැබ තිබේ.

සතුන්ගෙන් මිනිසුන්ට බෝවන මෙම මාරාන්තික වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මේ වන තෙක් එන්නතක් සොයා ගෙන නොමැත.

පැතිරීමේ අවදානමක් පවතින මාරාන්තික රෝග දහය අතුරින් "ඉහළින්ම තිබෙන්නේ" නිපා වෛරසය බව ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන තිබේ.

නිපා වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකුට ප්‍රතිකාර කළ හෙදියක ද එම රෝගය වැළඳීමෙන් මිය ගොස් ඇති බව කේරළ සෞඛ්‍ය ලේකම් රජීව් සදානන්දන් සඳහන් කළේය.

"ආසාදිත පුද්ගලයන්ට ඇති වෛද්‍ය ප්‍රතිකාර අවම නිසා, වෛරසය පැතිරීම වළක්වා ගැනීමට අදාළ පියවර ගැනීමට අවධානය යොමු කර තිබෙනවා," යැයි ඔහු තවදුරටත් පැවසීය.

මෙම වෛරසය ප්‍රධාන වශයෙන් පලතුරු ආහාරයට ගන්නා වවුලන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන බව හඳුනාගෙන තිබේ.

වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන් තිදෙනෙක් සිටි නිවසක තිබී වවුලන් ආහාරයට ගත් අඹ ගෙඩි කීපයක් සොයාගත් බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

(under the courtesy of srilankamirror.lk news web)

More News »