පෙළපොත් හිඟයට තවමත් පිළියමක් නෑ

2018-05-15 10:47:00       831
feature-top
2018 වසර සඳහා සමස්ත පෙළපොත් අවශ්‍යතාවය 41,189,027 ක් ව තිබියදී පෙළපොත් 28,210,600 ක් පමණක් මුද්‍රණය කිරීමට කටයුතු කිරීමෙන් බරපතල පෙළපොත් හිඟයක් ඇති වී ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ.

එම නිවේදනය,

2018 වසරට පෙළපොත් 41,189,027 ක් අවශ්‍ය වුවද මුද්‍රණය කර ඇත්තේ 28,210,600 කි

මුද්‍රණය කර ඇති පෙළපොත් ප්‍රමාණය තුළ ගුරුවරුන්ට අවශ්‍ය පෙළපොත් සංඛ්‍යාව ඇතුළත් නොවීම හා ගුරුවරුන්ට ඉගැන්වීම් කටයුතුවලට අවශ්‍ය පෙළපොත් ලබා නොදීම තුළ ගුරුවරු බරපතළ පීඩාවකට පත්ව ඇත. 

මුද්‍රණය කළ පෙළ පොත් 28,210,600 තුළ 1-4 ශ්‍රේණි සඳහා අවශ්‍ය පොත් 8,802,100 ක් හා 9 ශ්‍රේණිය සඳහා අවශ්‍ය පොත් 6,432,000 ක්, වැඩපොත් 2,630,000 අනිවාර්යයෙන් මුද්‍රණය කළ යුතුය. එවැනි තත්වයක සත්‍ය වශයෙන්ම මුද්‍රණය කර ඇත්තේ සමස්ත පෙළපොත් අවශ්‍යතාවයෙන් කුඩා ප්‍රමාණයක් බව පහැදිලිය. 

පෙළපොත් මුද්‍රණය සඳහා අයවැයෙන් රුපියල් මිලියන 4385 ක මුදලක් වෙන් කර තිබියදී පෙළපොත් නැවත භාවිතය ගැන සඳහන් කරමින් අඩු පෙළපොත් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබීම ගැටළුවකි.

පවතින තත්වය අනුව 2018 වසරට අදාළ පෙළපොත් මුද්‍රණය සඳහා දෙවැනි වරට 2018 වසරේ  ජනවාරි මස පුවත්පත් මගින් ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව ටෙන්ඩර් කැඳවා තිබීම විහිලුවකි. මේ වන විට දෙවන පාසල් වාරයද ආරම්භ වී තිබුණ ද පාසල් දරුවන්ගේ පෙළපොත් ගැටලුවට විසඳුම් ලබා දී නැත. 

පාසල් ළමුන්ට අවශ්‍ය පෙළපොත් විධිමත්ව ලබා නොදීම හා නැවත භාවිතය යයි සඳහන් කරමින් අබලි පොත් ලබාදීමෙන් දෙමාපියන්ට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු අලෙවිසැල්වල පෙළපොත් මිල දී ගැනීමට පෝලිම්වල සිටීමට සිදුවිය. එම තත්වයට වගකිව යුතු නිලධාරීන්වම නැවත ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේනතුවේ කටයුතුවලට යොදවා පෙළපොත්  ගැටළුව දිගින් දිගටම පැවතීමට ඉඩහැර ඇත. 

මෙම තත්වය තුළ පැහැදිලි වන්නේ පාසල් දරුවන්ගේ පෙළපොත කප්පාදු කොට පෙළපොත් මුදල විකිණීමේ වුවමනාව ඉටු කිරීමට අවශ්‍ය තත්වය නිර්මාණය කරමින් පවතින බවයි. මේ තත්වය තුළ පාසල් දරුවන්ට අවශ්‍ය පෙළපොත් නියමිත වේලාවට නිසි පරිදි නොමිලේ ලබාදීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් මෙන්ම රජයෙන් ද ඉල්ලා සිටී. 
  
මෙයට,
ජෝසප් ස්ටාලින්
ප්‍රධාන ලේකම්

(under the courtesy of adaderana.lk news web)

More News »