ඇමරිකාවෙයි ලංකාවෙයි වෛද්‍යවරු එකතුවෙයි...! රොබෝ යන්ත්‍රයක් යොදා ගනිමින් නැවක් ඇතුලේ කල පළමු සැත්කම..!

2018-05-15 09:26:00       829
feature-top
ශ්‍රී ලංකාවේ සහ  ඇමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය කණ්ඩායමක් විසින් නෞකාවක සිට රොබෝ යන්ත්‍රයක් ආධාරයෙන්  සාර්ථක සැත්කමක් සිදු කිරීමට සමත්වී තිබෙනවා.රොබෝ් යන්ත්‍රයක ආධාරයෙන් සිදු කල මිනිස් සිරුරේ පිත්තාශය ඉවත් කිරීමේ මෙම සැත්කම  නැවක සිට සාර්ථකව සිදුකළ පළමු අවස්ථාවද  වනවා.

ත්‍රිකුණාමලය වරායේ නවතා ඇති යූ.එස්.එස්. මර්සි  නෞකාවතුළදී මෙම සැත්කම සිදුකර ඇති අතර ඇමෙරිකානු වෛද්‍යවරුන් හා මෙරට වෛද්‍යවරුන් එක්ව නෞකාව තුළ ස්ථාපිත ඩාවින්සි එක්ස් අයි රොබෝ සැත්කම් පද්ධතිය උපයෝගි කර ගනිමින් මේ සැත්කම සිදුකර තිබෙනවා.

අදාල සැත්කම සිදුකිරීමෙන් පසු රෝගියා නැවේ පශ්චාත් නිර්වින්දන ඒකකයට ඇතුළත් කර පසුව සාමාන්‍ය පරිදි ප්‍රතිකාර රෝහලක් තුලදී ලබා දෙමින් පවතිනවා. 

කෙසේ වෙතත් මෙම සැත්කම සිදුකිරීම පිළිබඳව අදහස් දක්වමින් මූතූර් මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය වයිරමුත්තු වරනීතරන් පැවසූවේ නැවක සිට කරන ලද සැත්කම මඟින් තමන් අත්දැකීම් රැසක් ලබාගත් බවත් නැවක සිටියත් සාමාන්‍ය ශල්‍යාගාරයක සිට කටයුතු කරනවා වැනි හැඟීමක් තමන්ට ඇතිවුණු බවත්ය. 

එසේම සහයෝගය, කුසලතාව සහ තාක්ෂණය එක්වූ විට පවතින තත්ත්වය ඉක්මවා යමින් අරමුණ කරා ළඟා විය හැකි වෛද්‍ය නිපුණත්වයක් පවතින බව මෙම සැත්කම මඟින් මනාව පැහැදිලි වූ බව ශ්‍රී ලංකා හා මාලදිවයිනේ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති අතුල් කේෂප් විසින්ද සඳහන් කර තිබුණා.

(under the courtesy of nethnews.lk news web)

More News »