අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමට නානු මුසු ෂැම්පු ළඟදීම?

2018-04-16 12:35:00       269
feature-top
‘අප්‍රේල් මස 16වැනි සඳුදා පූර්ව භාග 10:16ට උතුරු දිශාව බලා හිසට දිවුල්පත් ද, පයට ඉඹුල් පත් ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ දිවුල් මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි‘.

මේ මෙවර සිංහල අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම සම්බන්ධයෙන් සිංහල බෞද්ධයන් වෙත ලැබී තිබූ ජ්‍යෙතිෂ උපදෙසයි.

මුලික වශයෙන් සිංහල බෞද්ධයන් බෞද්ධාගමික උළෙලක් වශයෙන් හඳුන්වා ඇතත් සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍ර පද්ධතියට අයත් බෞද්ධ සංස්කෘතියට මරු පහරක් හෙලන තවත් එක් අවස්ථාවක් වනුයේ මෙම හිස තෙල් ගෑමේ චාරිත‍්‍රයයි.

එහෙත් බොහෝ දෙනෙක් මෙහි අැත්ත කතාව නොදනිති. 

හිස තෙල් ගෑමේ දී මුහුණ ලා සිටිය යුතු දිශාව මෙන්ම හැඳ සිටිය යුතු ඇඳුම්වල පැහැය ද සිංහල අලූත් අවුරුදු නැකත් චාරිත‍්‍රවල පැහැදිලිවම දක්වා තිබේ. එමෙන්ම එසේ හිස තෙල් ගානා අවස්ථාවේ හිසට සහ පාදයට තැබිය යුතු ශාක පත‍්‍ර පිළිබඳව ද සඳහන් වෙයි. සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍රවල එලෙස දක්වා ඇත්තේ එක් එක් ග‍්‍රහයන්ට හිමි වෘක්ෂයට අයත් පත‍්‍ර බව ද පැවැසෙයි. එමෙන්ම ඒ සියලූම වෘක්ෂ නිවර්තන කලාපීය පාරිසරික පද්ධතියට අයත් වීමෙන් මෙම නව ග‍්‍රහයන් අප රට ඇතුළු නිවර්තන කලාපීය රටවලට පමණක් බලපාන්නේ යැයි ද යමෙකුට තර්ක කළ හැක.

එම දින, ග‍්‍රහයන් සහ වෘක්ෂ මෙලෙසිනි.

ඉරිදා (රවි) - ඉඹුල්

සඳුදා (චන්ද්‍ර) - දිවුල්

අඟහරුවාදා (කුජ) - කොලොන්

බදාදා (බුද) - කොහොඹ

බ‍්‍රහස්පතින්දා (ගුරු) - බෝ

සිකුරාදා (සිකුරු) - කරඳ

සෙනසුරාදා (ශනි) - නුග

රාහු ග‍්‍රහයාගේ වෘක්ෂය වැටකේ සහ කේතු ග‍්‍රහයාගේ වෘක්ෂය කෙසෙල් වශයෙන් නම් කොට තිබුණ ද සතියකට ඇත්තේ දින හතක් බැවින් හිස තෙල් ගෑමේ දී එම ශාක පත‍්‍ර භාවිතාවට ප‍්‍රායෝගික ඉඩක් නොලැබේ.

මෙහි දී අදාළ දවසට හිමි වෘක්ෂ පත‍්‍රය හිසට ද ඊට පෙර දිනට හිමි වෘක්ෂ පත‍්‍ර පයට ද තබා හිස තෙල් ගෑම පිළිගත් ජ්‍යොතිෂ සම්ප‍්‍රදායයි. ඒ අනුව මෙවර හිස තෙල් ගෑමේදී හිසට දිවුල් පත්ද පයට ඉඹුල් පත්ද තැබීමට හේතුව දැන් ඔබට පසක් වනු ඇත. ඒ පිළිබඳව සිංහල අලූත් අවුරුදු නැකත් චාරිත‍්‍රවල පැහැදිලිවම සඳහන්ව තිබේ. එහෙත් ජ්‍යොතීර්වේදයට අනුව බ‍්‍රහස්පති හෙවත් ගුරු ග‍්‍රහයාට හිමි වෘක්ෂය වන්නේ බෝ ගසයි. සිංහල අලූත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත කිසියම් ආකාරයකින් සිකුරාදා දිනයක යෙදී තිබුණා යයි අපි සිතමු. එහි දී නියම චාරිත‍්‍රය වනුයේ හිසට කරඳ පත් ද, පයට බෝපත් ද තබා හිස තෙල් ගැල්වීම ය. නමුත් බෞද්ධයාගේ පරම පූජනීය වෘක්ෂය වන බෝ ගසේ පත‍්‍ර ඔවුන් ලවා පෑගවීමට මෙම අලූත් අවුරුදු චාරිත‍්‍රාවලිය තුළ ගෙන ඇති කෲර උත්සාහය පිළිබඳව සිංහල අලූත් අවුරුද්ද වෙනුවෙන් මාධ්‍ය ඔස්සේ පුහු අඬහැර පාන ‘පඩිවරුනගේ‘ අවධානයට යොමුව නැත.

සිංහල අලූත් අවුරුදු නැකත් චාරිත‍්‍ර අකුරටම ඉටු කළ යුතු ය යනුවෙන් හඬ නඟන අපේ ‘ප්‍රාසාංගික පඬිවරුන්‘ මෙම යථාර්ථය සමාජයට ගෙනහැර නොදක්වනුයේ හුදෙක් නොදැනුවත්කම හෝ කුහක පිළිවෙත නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. නමුදු සිකුරාදාට හිස තෙල් ගෑමේ නැකත යෙදී තිබූ ඇතැම් සිංහල අලුත් අවුරුදු හිස තෙල් ගෑම්වලදී පයට තබාගත යුතු බ‍්‍රහස්පති හෙවත් ගුරුගේ වෘක්ෂය වන බෝපත් වෙනුවට ඊටත් පෙර දින එනම් බදාදාට අධිපති බුදට අයත් වෘක්ෂය වන කොහොඹ ගසේ පත‍්‍ර පයට තැබීමට නියම කෙරුණු අවස්ථා පැරණි සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍ර මාලාවන් සහිත පංචාංග ලිත් පරීක්ෂාවක දී මට සොයාගත හැකි විය. මෙයද එක්තරා අන්දමකින් ජ්‍යෙතිෂය කරුවන් සිංහල බෞද්ධයන් ‘ගොනාට ඇන්දවීමක්‘ නොවේද?

අතීත සිංහල ජන සමාජයේ පැවැති මෙම හිස තෙල් ගෑමේ චාරිත‍්‍රය සම්බන්ධ හිසට සහ පයට ශාක පත‍්‍ර තැබීමේ ඉහත සඳහන් සම්ප‍්‍රදාය ආර්. එල්. බ්‍රෝහියර් ලියූ Discovering Ceylon කෘතියෙහි ද සඳහන් ය.

ඒ අනුව සිංහල අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමට තබා කවර හේතුවක් මුල් කරගෙනවත් සිංහල බෞද්ධයෝ බෝපත් පෑගීමට කැමැති නොවන බව වටහා ගත් කූට නැකත්කරුවෝ එම කාරියෙන් බෝපත් සූක්ෂම ලෙස මුදා හැර තිබේ. ඒ අනුව ඔවුන් එක්තරා අන්දමකින් බෞද්ධයන් රවටා ඇති අතර හින්දු ආගමේ එන ශාස්ත‍්‍රීය සම්ප‍්‍රදායන් ද උල්ලංඝනය කොට තිබේ. ඉතින් සිංහල අලුත් අවුරුද්දේ බෞද්ධ මුහුණුවර ගැන තවත් කවර නම් කතා ද?

සිංහල අලූත් අවුරුදු හිස තෙල් ගෑම මුල්කොට රාජ්‍ය මට්ටමින් බෞද්ධ සංස්කෘතියට ‘පස්ස හැරවූ‘ අවස්ථාවක් ජාතික නාලිකාව යැයි කියාගන්නා ජාතික රූපවාහිනියෙන් සජීවීව ප‍්‍රචාරය කරනු ද මම මීට වසර 15කට පෙර මහත් කම්පාවකින් යුතුව බලා සිටියෙමි.

එවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පවත්වන ලද්දේ ඓතිහාසික මාලිගාවිල බුද්ධ ප‍්‍රතිමාව අබියසදී ය. එය ඉදිරියේ එම චාරිත‍්‍රය ඉටු කෙරුණ ද හින්දු ජ්‍යොතිෂ නියමයට අනුව එවර හිසතෙල් ගෑම මෙවර මෙන් උතුර බලා සිදුකළ යුතුව තිබූ බැවින් ඊට සහභාගී වූ රාජ රාජ මහාමාත්‍යයන් බුද්ධ ප‍්‍රතිමාවට ‘පස්ස හරවා‘ එම හින්දු චාරිත‍්‍රය අනුගමනය කළහ. එම සිංහල අලූත් අවුරුදු මදයෙන් මත්වී සිටි අපගේ සිංහල බෞද්ධ ජනගහනයෙන් කිසිවකුත් සිංහල බෞද්ධයන් තම අලූත් අවුරුද්ද මුල්කොට සිය ශාස්තෲන් වහන්සේට කළ නිගරුව පිළිබඳව වදනක්වත් කතා නොකළහ. 

මෙහිදි මෙම කටයුත්තේ බරපතලම ඛේදවාචකය වනුයේ අපගේ භික්ෂුන් වහන්සේලා මෙම අන්ධ චාරිත්‍රයේ මාර්ගෝපදේශකයන් ලෙස ක්‍රියා කිරීමය.

එමෙන්ම සිංහල අලූත් අවුරුද්දේ ගුණ රුව වනන ප්‍රාසාංගික පඩිවරුන් සිංහල දෙමළ අලුත් අවුරුද්ද එකම උත්සවයක් සේ පවසතත් පුත්තාණ්ඩු නමින් හැදින්වෙන දෙමළ හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම හෙවත් ‘මරුතිනියර්‘ යෙදී ඇත්තේ අප්‍රේල් 14 වෙනිදාටමය. ඊට හේතුව ඔවුන්ගේ අලුත් අවුරුද්ද සිංහල අලුත් අවුරුද්ද මෙන් දිගින් දිගටම ඇදෙන්නක් නොව එක් දිනකට පමණක් සීමා වන්නක් බැවිනි.

එමෙන්ම සිංහල අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේදී අලි ඇතුන්ගේ හිස තෙල් ගෑමේ විලාසිතාවක් ද කෙමෙන් ජනකාන්ත වෙමින් පවතී. එහෙත් අලි ඇතුන්ගේ සහ ඒවා ගල්වන්නවුන්ගේ උස ප‍්‍රමාණයන්හි විෂමතාව අනුව බොහෝ විට අලි ඇතුන්ගේ හිස තෙල් ගෑම වෙනුවට කරනුයේ ‘හොඬයේ තෙල්‘ ගෑමකි.

ඒ අනුව එය නිවැරදි ලෙසින් දැක්විය හැක්කේ ‘හොඬ තෙල්’ගෑමක් මිස හිස තෙල් ගෑමක් ලෙසින් නොවේ. එමෙන්ම එම නියාමය අනුව අලින්ගේ මෙන් මිනිසුන්ගේ ද නාසයේ තෙල් ගැල්වීමට හැකි බවක් නම් මෙතෙක් කිසිවකුත් යෝජනා කොට නැත.

එමෙන්ම සිංහල අලුත් අවුරුද්දේ එන මෙම හිස තෙල් ගෑමේ චාරිත්‍රය වසර දහස්ගණනක් මුළුල්ලේ පැවත එන්නක් බව බොහෝ මාධ්‍යවල පැවසෙනු මම අසා සිටියෙමි.

එහෙත් එය පට්ටපල් කෙබරයකි. සිංහල අලුත් අවුරුද්දේ නානු යුෂ සහිතව මෙලෙස ස්නානය කෙරෙන චාරිත්‍රය ඇරඹී ඇත්තේ කන්ද උඩරට රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ සමයෙන් (ක්‍රි.ව1747-1782) පසුව බව නියත ලෙසම ‍ඵෙතිහාසික වශයෙන් සනාථවී තිබේ.

සමාජයේ කැපී පෙනීමේ ආශාව නිසා හෝ අත යටින් ලැබෙන මිල මුදල් නිසා හෝ මෙලෙස සිංහල අලුත් අවුරුද්දට ව්‍යාජ පෞඩත්වයක් ගාමිභිරත්වයක් එක් කිරීමට යාමෙන් සිදු වන්නේ මෙම අලුත් අවුරුද්ද මුල් කොට සාමාන්‍යයෙන් මහජනතාවගේ ඉහ මොල සුරා කෑමට බලා සිටින බහු ජාතික සමාගම් ඇතුළු මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ ජාවාරම් කාරයින් තව දුරටත් සවිමත් වීම පමණි.

ඒ නිසා ඔවුන් අප රටේ සාමාන්‍ය ජනතාවගේ මෙම අන්ධ විශ්වාසයන් මුල් කොට ඉදිරි වසර වලදි සිංහල අලුත් අවුරුදට හිස තෙල් ගෑමට සුදුසු යැයි පැවසෙන ශාකශාර නානු වශයෙන් හැදින්වෙන නව ෂැම්පු විශේෂයක් හඳුන්වා නොදුන්නොත් එය ලෝක පුදුමයකි.

More News »