විධායක නැති කරන්න ජවිපෙන් 20 වෙනි සං‍ශෝධනය ගෙන ඒමේ සුදානමක්

2018-03-19 05:25:00       808
feature-top
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ව්‍යවස්ථාවට 20 වැනි සංශෝධනයක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද(19) කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා මෙසේ සඳහන් කළේය.

“2001 වසරේදී චන්ද්‍රිකා ආණ්ඩුවෙන් මන්ත‍්‍රී කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟ ආණ්ඩුව අස්ථාවර වුණා. ඒ අවස්ථාවේදී ජවිපෙ මන්ත‍්‍රී කණ්ඩායම එම අස්ථාවර තත්වය උපයෝගී කරගෙන 17වැනි සංශෝධනය සම්මත කරගන්න කටයුතු කළා. 

නැවත 2010දී මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ 2/3 බලයක් නිර්මාණය කරගැනීමෙන් පසුව 17වැනි සංශෝධනය අහෝසි කර 18වැනි සංශෝධනය ගෙනාවා. පසුගිය 2015 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂ අග‍්‍රාමාත්‍යවරයාත් ශ‍්‍රීලනිප ජනාධිපතිවරයාත් නියෝජනය කළ සුළුතර ආණ්ඩුව සහ විපක්ෂයේ වැඩි පිරිසක් නියෝජනය කරන අවස්ථාවේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකර 19වැනි සංශෝධනය සම්මත කරගන්න හැකියාව ලැබුණා. 

එනිසා මෙවැනි දේශපාලන අස්ථාවර තත්වයන් ජනතාවට හිතකර තත්ත්වයකට පත්කර ගැනීමට ව්‍යවස්ථාවට බලගතු සංශෝධනයක් ගේන්න ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. 

ඒ අන් කිසිවක් නොව විධායක ජනාධිපත් ධුරය අහෝසි කිරීම සඳහා ව්‍යාවස්ථාවට 20වැනි සංශෝධනය ගෙනඒමයි. මොකද විධායක ජනාධිපති ධුරය ආපු වෙලාවේ සිටම වමේ ව්‍යාපාර, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන ව්‍යාපාර විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට ප‍්‍රකාශ කළා. 

ජනතා විමුක්ති පෙරමුණ පළමුවැනි විධායක ජනාධිපතිවරයා බිහිවූ දා සිටම එම ධුරය අහෝසි කරන්න කියලා සටන් කළා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි බලගතු සංශෝධනයක් පක්ෂයක් ලෙස අපට තනිව කරන්න පුළුවන්කමක් නැහැ. 

එයට පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් අවශ්‍යයි. කෙසේ වෙතත් අනෙකුත් දේශපාලන පක්ෂවල කට්ටිවාදී  වුවමනාවන් නිසා එම සංශෝධනය සම්මත කරගන්න මෙතෙක් නොහැකි වී තිබෙනවා. “

(under the courtesy of adaderana.lk news web)

More News »