පාසල්වල නඩත්තු බර සිසුන්ට පටවලා

2018-03-14 08:56:00       252
feature-top
පාසල්වල නඩත්තු බර සිසුන්ට පටවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ 2016 විගණකාධිපති වාර්තාවෙන් හෙළිවී ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ.

එම නිවේදනය මෙසේය,

පාසල්වල නඩත්තු වියදම් සිසුන් මත පැටවුණු වැය බරක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් 2016 වසරට අදාළව නිකුත් කරන ලද විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පැහැදිලිව සඳහන් කර ඇත. එම වාර්තාවට අනුව 2016 දෙසැම්බර් 31 දින වන විට ජාතික පාසල් 52 ක පාසල් සංවර්ධන සමිතියෙන්, කී‍්‍රඩා අරමුදලින් හෝ පහසුකම් හා සේවා ගාස්තු ගිණුමෙන් හෝ වැටුප් ගෙවමින් බඳවාගෙන තිබුණු අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව 307 ක් වන අතර, ඔවුන් වෙත 2016 වර්ෂය තුළදී පමණක් ගෙවා ඇති මුළු වැටුප් හා දීමනා රු.5,781,742/- කි. මෙම මුදල සම්පූර්ණයෙන්ම සිසුන් මත පැටවුණු වැය බරක් බව ද අදාළ වාර්තාවේ පැහැදිලිව සඳහන් කර ඇත. 

එසේම එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ අදාළ පාසලේ හෝ අවට පාසැල්වල හෝ ප‍්‍රමාණවත් ශ‍්‍රවණාගාර හෝ ශාලා පහසුකම් තිබියදී ජාතික පාසල් 20 ක විවිධ උත්සව සඳහා පෞද්ගලික ආයතන සතු ශ‍්‍රවණාගාර හෝ ශාලා පහසුකම් ලබා ගැනීම සඳහා රු.7,279,029/- වැය කර ඇති බවයි.  මෙම මුදල් සිසුන්ගෙන් විවිධාකාරයෙන් අයකර ගත් මුදල් වන අතර, මින් පහැදිලි වන්නේ අනවශ්‍ය වියදම් සඳහා ද සිසුන්ගෙන් අධික ලෙස මුදල් අයකර ඇති බවයි. 

5/2015 චක‍්‍රලේඛය මගින් පාසල්වල නඩත්තු වියදම් සිසුන්ගෙන් අය කිරීම අවස්ථාව සැලසීමත් සමග මෙලෙස අති විශාල ලෙස සිසුන්ගෙන් මුදල් අය කිරීමත්, ඒවා අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා වියදම් කෙරෙන බවත් විගණකාධිපතිවරයාගේ මෙම වාර්තාව තුළින් මනාව පැහැදිලි වේ. 

මෙම තත්වය සැලකිල්ලට ගෙන පාසල් සිසුන්ගෙන් පාසල්වල නඩත්තු කටයුතු සඳහා මුදල් අය කිරීම නීත්‍යානුකූල කර ඇති 5/2015 චක‍්‍රලේඛය වහා අවලංගු කර පාසල්වල සිසුන්ගෙන් මුදල් අය කිරීම නතර කිරීමට පියවර ගත  යුතු බව ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කර සිටී.

(under the courtesy of adaderana.lk news web)

More News »