විදුහල්පතිගේ ක්‍රියාවෙන් පාසල අහිමි වු පුංචි දැරියගෙන් ජනපතිට ලිපියක්

2018-03-09 10:50:00       674
feature-top
විදුහල්පතිවරයෙකුගේ  ක්‍රියා කලාපය හේතුවෙන් එහි ඉගනුම ලබන දැරියකගේ පාසල් ගමන නතර වීමේ පුවතක් ගම්පහ ගනේමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. 

මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පා සිටින්නේ ගනේමුල්ල කුඩා බොල්ලත ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ ඉගනුම ලබන පාසල් සිසුවියකි. 

මෙම සිසුවිය මේ වසරේ  ශිෂ්‍යත්ව විභාගයට පෙනිසිටිමටද නියමිතව ඇත. 

විනෝද චාරිකාවක් යාම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා විදුහලේ දෙමාපියන් කැදවා,  පසුව සියලු ළමුන්ද සහභාගී කරගනිමින් 
පසුගිය වසරේ මේ සිසුවිය සම්බන්ධ පුවතක්  බහු මාධ්‍ය ප්‍රශ්ෂේපන පද්ධතිය ආධාරයෙන් පෙන්වීම් මේ සිසුවියගේ අධ්‍යාපන ගමන 
නතර කරවීමට සමත්ව තිබේ. 

මේ සිදුවීම හේතුවෙන් පසුගිය වසරේද මේ සිසුවියගේ අධ්‍යාපන කඩාකප්පල් වූ අතර මාසයකට ආසන්න කාලයක් නිවසට වී කාලය ගත කිරීමට මේ සිසුවියට සිදු විණි.

මෙහිදී මේ ගැටලුව විසදීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මැදිහත් වූ අතර එහි උසස්  නිලධාරියෙකු ඉකුත් වසරේ  ජුනි මස 9 වනදා  ගනේමුල්ල කුඩා බොල්ලත ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලය වෙත පැමිණ ළමුන් සතු අධ්‍යාපන අයිතිය කිසිදු ලෙසකින් උල්ලංඝනය කළ නොහැකි බව මෙම පාසලේ විදුහල්පති වරයා සහ සෙසු ගුරු මඩුල්ලට පමණක් නොව ගනේමුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාටද  පෙන්වා දී ඇත.

එම වසරේ මාර්තු මස 17 වනදා සිට මැයි මස මැද භාගය තෙක් මෙම දැරියට එරෙහිව පාසලට සම්බන්ධ සෙසු ප්‍රජාව හැසිරී ඇති ආකාරය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීවරයාගේ දෝෂ දර්ශනයටද ලක්විණි.

මේ දැරියගේ  මව  HIV මර්ධන වැඩසටහන්වලට සම්පත් දායිකාවක ලෙස ස්වේච්චාවෙන් සම්බන්ධ වීම වරදක් යන ආකල්පය මෙම පාසලට සම්බන්ධ  විදුහල්පති හා ඇතැම් ගුරුවරුන් තුළ ඇතිවීම මේ දැරියට අදාල කෙනහිලි කම් සිදුවීමට ප්‍රධාන හේතුව වූ අතර මේ දැරියටද  HIV  වැලදී ඇති බවට ප්‍රචාරයක් යන ලදී.

මානව හිමිකම් කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි ගේ නියෝග පරිදි එවර මේ දැරිය පාසලට බාර ගැනීමට විදුහල්පතිවරයා කැමැත්ත පල කල අතර ඒ අනුව ඉදිරියේදී මේ දැරියට කිසිදු වෙනස් කමක් සිදු නොවීමට වගබලාගත යුතු බවට වූ නියෝගයක්ද කෙරුණි.

මේ දැරිය සම්බන්ධ ව මාධ්‍ය තුළ පලවූ සිදුවීම් කීපයක් විදුහල්පතිවරයා විසින් පසුගිය 20 වැනි දින  පෙන්වීම විදුහලේ ගුරුවරුන්ගේ දෝෂාදර්ශනයටද ලක්ව ඇත . 

විදුහල්පතිවරයා ඉකුත් වසරේ සිදුවූ සිදුවීම් පෙන්වා මේ දැරියට අසාධාරණයක් සිදුකිරීම් ලංකා ගුරු සංගමයද මේ වන විට හෙළා දැක තිබේ.

එහි ලේකම් ජෝසප් ස්ටාර්ලින් ගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී කියා සිටියේ මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගන්  ඉල්ලා සිටින බවයි.

මේ කල විමසීමේදී ගනේමුල්ල කුඩා බොල්ලත ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඩි .ජේ කොතලාවල ප්‍රකාශ කළේ මේ පිළිබදව මානව හිමකම් කොමිසම මඟින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. 

තමන් මේ දැරිය සම්බන්ධයෙන් හෝ දැරියගේ මව සම්බන්ධයෙන් වූ කිසිවක් නොපෙන්වූ බවද විදුහල්පතිවරයා පැවසීය.

කෙසේ වෙතත් මෙම කුඩා දැරිය ජනාධිපතිවරයා වෙතද තම කණගාටුදායක සිදුවීම පිළිබඳ දන්වමින් ලිපියක් ද ලියමින් තමාට පාසල් යෑමට ඉඩ සළසා දෙන ලෙස ද ඉල්ලා සිටියි.

(under the courtesy of adaderana.lk news web)

More News »