රොෂේන් සිල්වා මංගල ශතකය ලබා ගනී

2018-02-03 10:08:00       209
feature-top
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද (03) රෝෂේන් සිල්වා තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කළා.

ශී‍්‍ර ලංකා සහ බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි. ඊයේ තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 3 ක් දැවී ලකුණු 504 ක් ලබාසිටියා.

නොදැවී කඩුල්ලේ රැදී සිටි රොෂේන් සිල්වා ලකුණු 87 ක් ලබාසිටි අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 37 ක් ලබාසිටියා.

ශී‍්‍ර ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 196 යි. 

කුසල් ද්විත්ව ශතකය පෙනි පෙනී දැවී යයි

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ශ‍්‍රී ලංකා පළමු ඉණිම ප‍්‍රබල තත්වයකට රැගෙන ඒමට කුසල් මෙන්ඩිස් සහ ධනංජය සිල්වා සමත් වුණා. චිතගොංහි පැවැත්වෙන මෙම තරගයේ අද තුන්වන දිනයයි.

අද සිය 23 වන උපන් දිනය සමරන කුසල් මෙන්ඩිස් අද තරගයේ දී සිව්වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමද විශේෂත්වයක්. ධනංජය සිල්වා ලකුණු 173කට දැවී ගියා. ඔහු මෙහිදී ටෙස්ට් ලකුණු දහසේ සීමාව පසු කිරීම ද විශේෂත්වයක්.

අඩුම ඉණිම් සංඛ්‍යාවකින් ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කළ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් අතර සම තුන්වන තැන හිමිකර ගැනීමටද ධනංජය සිල්වා අද සමත් වුණා. ඔහු ලකුණු දහසේ සීමාව පසුකර ගියේ ටෙස්ට් ඉණිම් 23කදීයි. මීට පෙර රෝයි ඩයස් සහ මයිකල් වැන්ඩොට් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එම දස්කම දක්වා තිබුණා. සුපිරි පිතිකරු කුමාර සංගක්කාර ඉණිම් 25ක දී සහ මහේල ජයවර්ධන මෙන්ම තිලාන් සමරවීර ද ඉණිම් 24ක දී සිය ටෙස්ට් ලකුණු දහසේ සීමාව පසුකර තිබුණා. 

කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා දෙවන කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 308ක්. 2009 වසරෙන් පසු ශ‍්‍රී ලාංකික පිතිකරුවන් දෙදෙනෙකු ත‍්‍රිත්ව ශතක ලකුණු සබඳතාවක් ගොඩනැගු පළමු අවස්ථාව ද මෙය වනවා. 

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 169කට දැවී ගියා

කුසල්ගේ සිව්වැනි ශතකයත් බංගලියන්ට එරෙහිව 

සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ හතරවන ශතකය රැස් කිරීමට කුසල් මෙන්ඩිස් අද සමත් වුණා. බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි. 

ධනංජය ද සිල්වා සිවිවැනි ශතකය ලබයි 

සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ හතරවන ශතකය රැස් කිරීමට ධනංජය ද සිල්වා අද සමත් වුණා. ඒ, බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදීයි. මෙම තරගයේ දෙවන දිනය වන අද තරගය නගර කරන විට සිය පළමු ඉණිම සඳහා පන්දුවට පහරදෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 187ක් ලබාගෙන සිටියා.

බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉණිම සඳහා රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 513ක්. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ට වඩා තවත් ලකුණු 326ක් පිටුපසින් සිටිනා. ධනංජය සිල්වා නොදැවී ලකුණු 104යි. කුසල් මෙන්ඩිස් ලකුණු 83ක් ලබාගෙන නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා. 

බංග්ලාදේශය පළමු ඉනිමට 513යි 

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම  කඩුළු 10ට ලකුණු 513ක් රැස් කළා. 

ශ්‍රී ලංකාවට හිසරදයක් වූ 'මොමිනුල්' මෙල්ල කරයි - තරගය කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකාව අතට

සංචාරක ශි‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (01) දෙවන දිනයයි.

මේ වන විට දෙවන දිනයේ ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 415ක් ලබා සිටිනවා. 

ඊයේ දවස පුරා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වූ මොමිනුල් හක් ලකුණු 175 ක් ලබා සිටියේ හතරේ පහර 16 ක් සහ හයේ පහරක් ද සමගයි.

කෙසේ වෙතත් අද දිනය ඇරඹුමේම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යනව ක්‍රීඩක රංගන හේරත් ලකුණු 176 ක් ලබාසිටි මොමිනුල් හක්ව ක්‍රීඩාගාරයට හරවා යැවුවා.

ඒ අනුව පිටියට පිවිසි මොමිනුල් හක්ගේ ද්විත්ව ශතක සිහිනය උදෑසනම බිඳ වැටී ගියා.

ඊයේ (31) තරගය නතර කරන විට සිය පළමු ඉනිමා කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 04ක් දැවී ලකුණු 374ක් ලබා සිටියා.

ඊයේ දිනයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි මොමිනුල් හක් ලකුණු 175ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් නායක මහමුදුල්ලා ලකුණු 09ක් රැස්කර ගෙන සිටියා.

තරගය පැවැත්වෙන්නේ චිතගොන් හිදීයි. 

බංග්ලාදේශයෙන් දැවැන්ත ඉනිමක්

සංචාරක ශි‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ප‍්‍රබල ස්ථානයක පසුවුණා.

දිනය නිමා වනවිට බංග්ලාදේශ ලකුණු පුවරුව දැක්වුණේ කඩුළු 04කට ලකුණු 374ක් ලෙසයි. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොමිනුල් හක් නොදැවී රැස්කර ගෙන සිිටි ලකුණු සංඛ්‍යාව 175ක්. ඔහුගේ ඉනිමට හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 92කට දැවී ගියා. තමීම් ඉක්බාල් ලකුණු 52යි. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ලකුණු 43කට කඩුළු 02ක් බිඳ හෙළුවා. මෙය බංග්ලාදේශ කණ්ඩායම ටෙස්ට් තරගයක එක් දිනක් තුළ වාර්තා කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවද වනවා.

මීට පෙර නවසීලන්ත කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායම ටෙස්ට් තරගයක එක් දිනක් තුලදී ලකුණු 388ක් රැස් කර තිබුණා.

බංග්ලාදේශයේ කඩුලු දෙකක් බිඳ වැටේ

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය දැන් පැවැත්වෙනවා.

බංග්ලාදේශ පළමු ඉණිමේදි අර්ධ ශතකයක් රැස් කිරීමට තමීම් ඉක්බාල් අද (31) සමත්වුණා.

පන්දු 53කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 6ක් ඇතුළත්.

ලකුණු 52ක් රැස් කරගෙන සිටියදී තමීම් ඉක්බාල් දැවී ගියේ දිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේයි.

ආරම්භක පිතිකරු ඉම්රුල් කයිස් ලකුණු 40කට දැවී ගියා. 

මීට නොබෝ වේලාවකට පෙර සිය පළමු ඉණිම වෙනුවෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලූ 02 ක් දැවි ලකුණු 171 ක් රැස් කරගෙන සිටියා.
 
කාසියේ වාසිය බංගලියන් අතට ගනී 

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මීට සුළු මොහොතකට පෙර බංග්ලාදේශය සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි. 

More News »