මුහුදු ඛාදනය නිසා කටුනේරිය ධීවරයින් අපහසුතාවයක

2018-02-01 10:47:00       735
feature-top
මාරවිල - කටුනේරිය,ගල්මල් පදුර ප්‍රදේශයේ මුහුදු ඛාදනය වැළැක්වීම සඳහා යොදා තිබූ කළු ගල් වැටි මත අතුරා තිබූ වැලි නැවත වතාවක් මුහුදට සේදී යාම නිසා තමන්ට රැකියාවන් කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි එම ප්‍රදේශයේ ධීවරයින් පවසයි.

කටුනේරිය වෙරළ තීරය පසුගිය කාලයේ සීඝ්‍ර ලෙස මුහුදු ඛාදනයට ගොදුරු  වී තිබුණි.

මෙම තත්ත්වයට පිළියමක් ලෙස එම වෙරළ තීරය තුළ විශාල ප්‍රමාණයේ කළු ගල් වැටියක් යෙදීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

මෙම කළු ගල් වැටිය හේතුවෙන් ධීවරයින්ට බෝට්ටු සහ තෙප්පම් මුහුදට දියත් කිරීමට සහ ආපසු ගොඩ බිමට ඒමට නොහැකි වී තිබුණි.

එම තත්ත්වයට පිළියමක් ලෙස ධීවරයින් කළු ගල් වැටිය මතට වැලි අතුරා වෙරළ සකස් කර ගැනීමට කටයුතු කර ඇති අතර නමුත් මෑතක සිට මුහුද රළු වීමත් සමඟ කළු ගල්  මත අතුරා තිබූ වැලි මුහුදට සේදී යාමට පටන් ගෙන තිබේ.

ඒ සමගම වෙරළ මත අතුරා ඇති විශාල ප්‍රමාණයේ කළු ගල් මතු වන්නට පටන් ගෙන තිබේ.

මෙම හේතුව නිසා තම යාත්‍රා වෙරළේ සිට මුහුදට දියත් කිරීමටත්,මසුන්  මැරීමෙන් පසුව නැවතත් ගොඩට පැමිණීමටත් නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ධීවරයින් පවසයි.

ගල්මල් පදුර ප්‍රදේශය තුළ ධීවර පවුල් 50 ක් පමණ ජීවත් වන අතර පවතින තත්ත්වය නිසා ඔවුන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති අතර මුහුදු යාමට නොහැකි නිසා ඇතැම් ධීවර යාත්‍රා වෙනත් ස්ථාන වලට ගෙන යාමට තමන්ට සිදුවී ඇති බව ධීවරයින් පවසයි.

නිවාස ආසන්නයේම ධීවර යාත්‍රා  ගාල් කිරීම තුළින් ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති නමුත් වෙනත් ස්ථාන වල යාත්‍රා ගාල් කිරීම අනාරක්ෂිත බවද ඔවුන් කියා සිටිති.

මෙම තත්ත්වය පිළියමක් ලෙස වෙරළ තීරයේ සිට මුහුදට “ටී” අකුරක හැඩයට ගල් වැටියක් යොදා දෙන ලෙස ගල්මල් පදුර ආරෝග්‍යාමාතා ධීවර සමිතිය විසින් වයඹ පළාත් ධීවර අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම කර මාස කීපයක් ගත වී ඇතත් නිසි විසදුමක් මෙතෙක් ලැබී නොමැති බවද ඔවුන් කියා සිටිති.


(under the courtesy of adaderana.lk news web)

More News »