ශිවශක්ති ආනන්දන්ගේ ‍චෝදනා සියල්ල අසත්‍යයයි - සුමන්තිරන් පවසයි

2018-01-29 06:58:00       722
feature-top
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  අයවැය වෙනුවෙන් ස‍හයෝගය ලබාදීමට රුපියල් කෝටි දෙකක මුදලක් ලබාගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා සඳහන් කරන ප්‍රකාශ සියල්ල සම්පූර්ණයෙන්ම අසත්‍ය බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශය එළිදැක්වීමේ වැඩසටහන ඊයේ(28) වවුනියාව ප්‍රදේශයේ පැවැත්වු අවස්ථාවේදී හෙතෙම එලෙස පැවසුවේය.

සුමන්තිරන් මහතා පැවසුවේ ආනන්දන් මහතා හැර අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අයවැය වෙනුවෙන් පක්ෂව ජන්දය ලබාදීමට මුදල් ලබාගෙන ඇති බවට ශිවශක්ති ආනන්දන් මහතා චෝදනා කොට ඇති බවයි.

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට එ‍වන් චෝදනාවක් සිදුකරන ශිවශක්ති ආනන්දන් මහතා‍ගේ පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමෙන් අනතුරුව අතරමංව ඇති බැවින් ආනන්දන් මහතා වියරුවෙන් විවිධ ප්‍රකාශ සිදුකරන බව සුමන්තිරන් මහතා පැවසුවේය.

එලෙස මුදල් ලබාගත්තේ නම් පසුගිය අයවැය වෙනුවෙන් ජන්දය ප්‍රකාශ කිරීමේදී ශිවශක්ති ආනන්දන් මහතාද ජන්දය ලබාදුන් අතර, එලෙස බැලු කළ ආනන්දන් මහතාද අදාළ මුදල් ලබාගෙන ඇති බවට ප්‍රකාශ කළ හැකි බවද හෙතෙම පැවසීය.

සුමන්තිරන් මහතා වැඩිදුරටත් පැවසූවේ ශිවශක්ති ආනන්දන් මහතා පසුගිය සමයේ වව්නියාවේ පැවති රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිතා කොට ඇති අතර, ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම වෙනුවෙන් දැනුම්දීමෙන් අනතුරුව අදාළ රාජ්‍ය දේපළ භාවිතා කිරීම නවතා දමන ලෙසට ආනන්දන් මහතාට මැතිවරණ කොමිෂම දැනුම්දී ඇති බවයි.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ආනන්දන් මහතා හා සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා නියෝජනය කරන පක්ෂයට අන්ත පරාජයක් උරුම වන බව දන්නා ශිවශක්ති ආනන්දන් මහතා හා සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා දෙමළ ජාතික සන්ධානයට බොරු චෝදනා කරමින්  ජනතාව මුළා කිරීමට උත්සහ කළද, ජනතාව පළාත් පාලන මැතිවරණයේදී බොරු ප්‍රචාර කරන පිරිස් වෙත නිවැරදි පිළිතුරක් ලබාදෙනු ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »