වකුගඩු රෝගීන්ට ගුණ නොදෙන ආහාර

2018-01-19 11:00:00       48
feature-top
වකුගඩු රෝගීන් ආහාර පාලනය කළ යුත්තේ ඇයි?

වකුගඩු මඟින් සාමාන්‍යයෙන් සිදුකෙරෙන්නේ රුධිරයේ ඇති අපද්‍රව්‍ය සහ අතිරේක තරල ඉවත් කිරීමයි. වකුගඩු ආබාධයක් පවතිද්දී එම කාර්යය​ නිසි පරිදි සිදු නොවන අතර එවැනි විටෙකදී මෙම අපද්‍රව්‍ය සහ අතිරේක තරල රුධිරයේ එක්රැස් වීමක් සිදු වේ.

මෙම අපද්‍රව්‍ය හා තරල අප ආහාරයට ගන්නා විවිධ ආහාර පාන වර්ග වලිනුයි අපගේ රුධිරයට පැමිණෙන්නේ. එම නිසයි වකුගඩු ආබාධයකදී රෝගියා නිර්දේශිත ආහාරම ගත යුත්තේ. එමඟින් රුධිරයේ අපද්‍රව්‍ය හා තරල එක්රැස්වීම පාලනය වීමක් සේම වකුගඩු වලට පැවරෙන කාර්යය​ සැහැල්ලු කර එම ඉන්ද්‍රියයන් වලට විවේකයක් ලබා දෙනවා. එම හේතුව නිසයි වකුගඩු ආබාධ සහිත රෝගීන් ආහාර පාලනය කිරීම ඉතාමත් වැදගත්.

එක් එක් පුද්ගලයා හට ඇති වී තිබෙන වකුගඩු ආබාධයේ තත්ත්වය අනුව ආහාර පාලනය කළ යුතු ආකාරය වෙනස් ය.  එසේ වුවත් පොදුවේ ගත් කළ ‍වකුගඩු රෝගීන් පහත කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.

වකුගඩු රෝගීන් සීමා කළ යුතු ආහාර
පොටෑසියම් (potassium) වැඩි ආහාර
අපගේ හෘදය, ස්නායු හා පේශි වල මනා ක්‍රියාකාරිත්වයට ‘පොටෑසියම්’(potassium) නමැති ඛනිජ පෝෂකය අත්‍යවශ්‍යයි. වකුගඩු වල එක් වැදගත් කාර්යභාරයක් වන්නේ ශරීරයේ නියමිත පොටෑසියම් (potassium) ප්‍රමාණය පවත්වාගෙන යාමයි.

නමුත් ශරීරයේ අධික ලෙස පොටෑසියම් (potassium) තිබීමෙන් හෘද ස්පන්දනය නැවතී යාමට පවා ඉඩකඩ තිබේ. ඒ අනුව ශරීරයේ ඇති පොටෑසියම් (potassium) ප්‍රමාණය අධික ලෙස ඉහළ යාම අනතුරුදායක තත්ත්වයක් වන අතර වකුගඩු රෝගීන් පොටෑසියම් (potassium) වැඩි ආහාර වලින් වැළකීම නුවණට හුරුයි.

කෙසෙල්
අර්තාපල්
තක්කාලි
චොකලට්
හතු
බිම්මල්
මාංශ භෝග
වියළි පළතුරු
දෙහි, දොඩම්, නාරං ආදී පැඟිරි කුලයේ පළතුරු
ආදිය පොටෑසියම් (potassium) අධික ආහාර  අතර විශේෂයි.

ප්‍රෝටීන් වැඩි ආහාර

මස්, මාළු, බිත්තර, කිරි, චීස් සහ අනෙකුත් කිරි නිෂ්පාදන ද කඩල, කව්පි, පරිප්පු, සෝයා වැනි වියළි ඇට වර්ග ද ප්‍රෝටීන් වැඩි ආහාර කුලයට අයත් ආහාර වේ.

එදිනෙදා අප ගන්නා ආහාර වලිනුයි ශරිරයට අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගන්නේ. එම ප්‍රෝටීන් අවශ්‍ය වන්නේ දිනපතා ශරිරයේ වර්ධනයට සහ ශරීරයේ ගෙවී ගිය කොටස් අලුත්වැඩියා කිරීමටයි. එසේ ලබාගන්නා ප්‍රෝටීන් ප්‍රයෝජනයට ගැනීමෙන් පසුව යූරියා නමැති අපද්‍රව්‍ය බවට පත්වන අතර යම් පුද්ගලයෙකුගේ වකුගඩු නිසියාකාරව ක්‍රියා නොකරන විටෙක මෙම අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීමේ අපහසුවක් ඇතිවේ. එවිට යූරියා පිටකළ නොහැකිව ශරීරය තුළ එක්රැස් වේ. එම නිසා වකුගඩු රෝගීන් හට ප්‍රෝටීන් අධික ආහාර ගැනීමේ පාලනයක් තිබිය යුතුයි.

විවිධාකාරයේ වකුගඩු රෝග පවතින නිසා, ඒවායේදී ලබාගත යුතු ප්‍රෝටීන් ප්‍රමාණය ද විවිධාකාර වේ.

කාලයක් පුරාවට වකුගඩු ආබාධයකින් පෙළෙන්නෙකු නම්, ආහාර මඟින් ලබාගන්නා ප්‍රෝටීන් ප්‍රමාණය අඩු කළ යුතුයි.
කාලීන ‍වකුගඩු රෝගයකින් පෙළෙන රාත්තල් 190ක් බරැති පිරිමි අයෙක් පිසින ලද ප්‍රෝටීන් අවුන්ස 6ක් දිනකට තම ආහාර මඟින් ලබා ගැනීම ප්‍රමාණවත් වේ.
කාලීන වකුගඩු රෝගයකින් පෙළෙන බර රාත්තල් 140ක් පමණ වන කාන්තාවක් දිනකට තම ආහාර මඟින් ප්‍රෝටීන් අවුන්ස 4ක ප්‍රමාණයක් ලබාගැනීම ප්‍රමාණවත් වේ. (දිනකට බිත්තරයක්, කුකුල් මස් කුඩා කැබැල්ලක් මේ හා සමාන වේ.)
සෝඩියම් සහිත ආහාර  (ලුණු)
වකුගඩු ආබාධිත රෝගීන් එදිනෙදා ආහාර වේලෙන් ලබා ගන්නා සෝඩියම් ප්‍රමාණය අඩු කරන්නේ නම්, එය ගුණදායකයි. එනම් වකුගඩු රෝගීන් තම ආහාර වේල සඳහා ලුණු අඩුවෙන් එකතු කරගත යුතුයි. අධික ලුණු භාවිතය අධි රුධිර පීඩනය ඇති කරවිමට ඉඩ ඇතිවීම එයට හේතුවයි.

සාමාන්‍යයෙන්,

චීස්, කෙටි කෑම, සුප්, චට්නි හා සෝස් වර්ග
සොසේජස්, හැම්, බේකන්
සමහර ටින් ආහාර
ලුණු වැඩිපුර එකතු කරන ලද ආහාර වේ. වකුගඩු රෝගීන් මෙවැනි ආහාර වලින් වැළකී සිටීම ඔවුන්ගේ සෞඛ්‍යයට​ ගුණදායකයි.

ලුණු වැඩිපුර එකතු කරන ලද ආහාර ගැනීමෙන් ශරීරයේ තරල (වතුර) ප්‍රමාණය ද වැඩි වේ. මෙලෙස ශරීරයේ අමතර තරල එක්රැස් වීම ශරීර සෞඛ්‍යයට ගුණදායක වන්නේ නැත. එසේ ශරීරයේ අමතර තරල එක්රැස් වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා, ඉදිමීම වැනි තත්ත්වයන් ද, ශරීරයේ බර වැඩි වීම ද ඇතිවීමට ඉඩ ඇති බැවින් වකුගඩු රෝගීන් ලුණු තම ආහාර වේලට එක්කර ගැනීමේදී සැළකිලිමත් වියයුතුයි.

පොස්පරස් අධික ආහාර

කිරි සහ කිරි නිෂ්පාදන වන චීස්, පුඩිං, යෝගට්, අයිස්ක්‍රීම් ද වියළි ඇට වර්ග/ මාංශ භෝග, මස් වර්ග, බිම වර්ග, එනම් කෝලා වර්ග, බියර් ආදිය පොස්පරස් වැඩි ආහාර වශයෙන් හඳුනා ගන්න පුළුවන්.

පොස්පරස් යනු ශරීරයේ අස්ථි ශක්තිමත්ව හා නිරෝගිව තබාගැනීමට උපකාරී වන පෝෂක වර්ගයක්. නමුත් වකුගඩු රෝගී තත්ත්වයකදී රුධිරයේ ඇති පොස්පරස් හා කැල්සියම් සමතුලිතතාව බිඳ වැටේ. එමෙන්ම වකුගඩු රෝගී තත්ත්වයකදී ශරීරයේ වැඩිපුර ඇති පොස්පරස් ප්‍රමාණය ඉවත් කිරිමට වකුගඩු වලට නොහැකි වේ. මේ නිසා රුධිරයේ පවතින පොස්පරස් මට්ටම ඉහළ යන අතර කැල්සියම් ප්‍රමාණය පහළ වැටීමක් සිදුවේ. ඒ අනුව රුධිරයේ ඇති පොස්පරස් මට්ටම පාලනය කිරිමට නම් වකුගඩු රෝගීන් ඉහතින් සඳහන් කළ පොස්පරස් අධික ආහාර පාලනය කළ යුතු වේ.

දියරමය ආහාර

වකුගඩු රෝගීන් ගත යුතු දියර ප්‍රමාණය සීමා කළ යුතු වුවත් එක් එක් රෝගියාගේ රෝගී තත්ත්වය අනුව සීමා කළ යුතු දියර ප්‍රමාණය වෙනස් වේ.

රුධිර කාන්දුකරණය කරන රෝගීන් (ඩයලසිස්) :- වෛද්‍ය උපදෙස් මත මොවුන් ගත යුතු දියර ප්‍රමාණය තීරණය වේ.
ඩයලසිස් කරන ඇතැම් රෝගීන් ඔවුන්ගේ ශරීරයේ තිබෙන දියර සමතුලිතතාව සහ යහපත් රුධිර පීඩනයක් පවත්වා ගැනීමට ප්‍රමාණවත් තරමේ දියර ප්‍රමාණයක් ගත යුතුයි.
අදාළ රෝගියාගේ මුත්‍රා පිටවන ප්‍රමාණය මැන එම ප්‍රමාණයට වඩා වැඩිපුර වතුර කෝප්ප 2ක් හෝ 3ක් වශයෙන් ද ගත යුතු ලෙස දියර ප්‍රමාණය තීරණය කරයි.
අවශ්‍ය පමණට කැලරි
සාමාන්‍යයෙන් වකුගඩු රෝගියෙකු වැඩි කැලරි ප්‍රමාණයක් ලබාගත යුතුයි. ශක්තිය ලැබෙන්නේ කැලරි මඟින්. නමුත් වකුගඩු රෝගීන් ලබාගන්නා ප්‍රෝටීන් ප්‍රමාණය සීමිත නිසා ශරිරයට ලැබෙන කැලරි ප්‍රමාණය ඉතා අඩුයි. ශරිරයට අවශ්‍ය කැලරි ලබාගත යුත්තේ පිටි සහ තෙල් ආහාර මඟින්. නමුත් වකුගඩු රෝගියා දියවැඩියා රෝගියෙකු ද වන්නේ නම් ඒ සඳහා විශේෂ වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වේ.

courtesy : roar.media

More News »