අවි ආයුධ තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

2018-01-14 04:42:00       551
feature-top
ජීව අත් බෝම්බ, ගිනි අවි සහ පතරොම් ඇතුළු අවි ආයුධ තොගයක් සමඟ පුද්ගලයෙකු කරන්දෙණිය, මඩකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත අද අළුයම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම අවි ආයුධ තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

එම නිවසේ තිබී ජීව අත් බෝම්බයක්, මෙරට හා විදේශීය රටවල නිෂ්පාදිත විවිධ වර්ගයේ ගිනි අවි, එම වර්ගවලට අයත් පතරොම් තොගයක් සහ ජංගම දුරකතන 04 ක් සොයාගෙන තිබේ.

එමෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිල ලාංඡනය සහිත විවිධ අවි වර්ග භාවිත කිරීම සම්බන්ධයෙන් ඉංග්‍රීසි හා දෙමළ භාෂාවෙන් මුද්‍රිත පොතක්ද එහිදී සොයා ගැනුණු බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් 37 හැවිරිදි සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කරන්දෙණිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana.lk news web)

More News »