ඇමරිකාවේ වර්ගීකරණයට අනුව ලංකාව මුල් පෙළට

2018-01-12 12:41:00       119
feature-top
සිය සංචාරක අවදානම් යාන්ත්‍රණය ප්‍රතිසංවිධානය කළ ඇමරිකා එක්සත් ජනපදය, සංචාරය සදහා ආරක්ෂක අවදානම අඩු මුල් පෙලේ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. 

ජනවාරි 10 වනදා සිට හදුන්වා දුන් මෙම අවදානම් යාන්ත්‍රණය පෙළ 4 කින් යුක්ත වන අතර, ඉන්දියාව සහ මාලදිවයින නම් කර ඇත්තේ එහි දෙවන පිලටයි. 

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සංචාරය සදහා සාමාන්‍ය පෙර සූදානමක් පමණක් අවශ්‍ය වුවත්, ඉන්දියාවේ සංචාරය කිරීමේදී වැඩි අවදානයක් යොමුකරන ලෙසයි ඇමරිකාව සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ.

ඒ ඉන්දියාවේ ත්‍රස්තවාදී සහ අපරාධවලට ගොදුරු වීමේ අවදානම ඇති බව පවසමින්. 

මාලදිවයිනේ ද ත්‍රස්තවාදී අවදානමක් පවතින බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නව අවදානම් නියෝග වල සදහන්. 

මෙහිදී ශ්‍රී ලංකාව නම් කර ඇත්තේ  ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ස්වීඩනය, ස්විට්සර්ලන්තය සහ බෲනායි වැනි රටවල් සමගයි.

කියුබාව, ඇමරිකානු අවදානම් ලැයිස්තුවේ තුන්වන පෙළට නම් කර ඇති අතර, ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සෝමාලියාව ඇතුළු රටවල් 10 ක් සංචාරය නොකළ යුතු රටවල් ලෙස සිව්වන පෙළට නම් කර තිබෙනවා.

(under the courtesy of hirunews.lk news web)

More News »