2018 වසරට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් LVL Energy Fund කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවට එක්වෙයි

2018-01-10 09:38:00       122
feature-top
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වන LVL Energy Fund Limited, සිය ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු (09) දිනයේ දී ආරම්භ කරනු ලැබීය. පසුගිය වසරේ අගභාගයේ දී සිදුකරන ලද මූලික මහජන කොටස් නිකුතුව තුළින් රුපියල් බිලියන 1.2 ක මුදලක් සම්පාදනය කර ගැනීමට LVL Energy Fund Limited සමත්විය.

අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු භූමියේ පැවති මෙම උත්සව අවස්ථාවට LVL Energy Fund Limited හි ප්‍රධාන විධායක නිලධාරී සුමිත් අරංගල,  Lanka Ventures PLC හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී කේ. මහේෂ්වරන්, මෙම නිකුතුවේ කළමනාකරුවූ Acuity Partners (Pvt) Limited හි විධායක අධ්‍යක්ෂ දේවා ඇල්ලේපොල හා ජ්‍යෙෂ්ඨ උපසභාපති - ආයතනික මූල්‍ය, ෂෙහාන් කුරේ යන මහත්වරුන් එක්විය. මීට අමතරව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, අධ්‍යක්ෂ ඩිල්ෂාන් වීරසේකර ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.

මෙහිදී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් LVL Energy Fund Limited හි ප්‍රධාන විධායක නිලධාරී සුමිත් අරංගල මහතා මෙසේ කියා සිටියේය.

“IPO එකට අයදුම්පත් 750 ක් පමණ ඇවිත් තිබුණා. එයින් බහුතරයක්ම සිල්ලර කොටස් ආයෝජකයින්.“

“අපේ ලංකාවේ තිබෙන සෑම ව්‍යාපෘතියක්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් වෙනවා. චුන්නාකම්වල සුළං විදුලිබල ව්‍යාපෘති දෙකක් දැනට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම IPO එකෙන් ලබාගත් මුදල් ජලවිදුලිබල ව්‍යාපෘති දෙකකට ආයෝජනය කරනවා. ඊට අමතරව විදුලිබල මණ්ඩලය විසින් සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට ආරාධනය කරමින් යනවා. ඒ සඳහා එක්වන්නත් අපි සූදානමින් සිටිනවා.“

සුමිත් අරංගල මහතා, අද දෙරණ සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

(under the courtesy of adaderana.lk news web)

More News »