නොරටුන්ට හා දෙමළ නායකයින්ට දුන්න පොරොන්දු ඉටු කරන්න ව්‍යවස්ථාවක් හදනවා

2017-12-05 05:02:00       730
feature-top
බලයට පැමිණීමේ දී විදේශිය බලවේගවලට හා විශේෂයෙන් දෙමළ නායකයින්ට ලබා දුන් පොරොන්දු හේතුවෙන් වර්තමානයේ බලයේ සිටින පුද්ගලයින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් පවසයි.

අද(05) උදෑසන අභයාරාමයේ පැවති මව්බිම සුරැකීමේ ජාතික සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් උන් වහන්සේ මේ බව කියා සිටියේය.

බොහෝ දෙනාගේ තර්කය වී ඇත්තේ ව්‍යවස්ථාව පරණ නොවිය යුතු බව වුවත් තමාගේ පෞද්ගලික මතය වන්නේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තරම් හේතු අද වන විට උදාවී නොමැති බව යැයි  ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

එය එසේ වුවත් විදේශිය බලවේගයන්ට මෙන්ම විශේෂයෙන් දෙමළ ජාතිකයින්ට ඡන්දය පැවැත් වීමට පෙර විවිධ පොරොන්දු ලබා දී ඇති බව ද පැවසු උන්වහන්සේ, ජනාධිපතිවරයා හා අගමැතිවරයා එම පොරොන්දු ඉෂ්ඨ කිරීම සඳහා මෙවැනි ක්‍රියාවන් සිදු කරන බව ද සඳහන් කළේය.

නමුත් මෙම ව්‍යවස්ථාව ගෙන ඒමේ අයහපත්ම දේ වන්නේ, යුද්ධයෙන් පසුව ක්‍රමක් ක්‍රමයෙන් ඇති වුණ සංහිඳියාව තවත් බොහෝ කාලයකට පසු පසට යෑම බව ද විමලරතන හිමියන් පැවසීය.

කෙසේ වෙතත් බෞද්ධ ආගමට ප්‍රමුඛස්ථානය ලබා දීම තුළ අනෙකුත් ආගම්වලද මනා හික්මීමක් ඇති ව තිබෙන බව පැවසු උන්වහන්සේ නව ව්‍යවස්ථාව තුළින් එය වෙනස් වුවහොත් ගැටළු රාශියක් සමාජයේ ඇති වන බවට ද අනතුරු අඟවා සිටියේය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ, ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එක් නොවන ලෙස තමා ප්‍රමුඛ සංඝ රතනය පැවසා සිටි බවත්, එයට බොහෝ විවේචනය එල්ල වු බවත්ය.

යම් පදනමක් මත එකතු වීමේ අවශ්‍යතාවයක් ඇත්නම් ඒ කුමක් සඳහාද යන්න දැන සිටිය යුතු අතර, එකතු වීමට අවශ්‍ය ප්‍රතිපත්ති මාලාව තමා විසින් ඉදිරිපත් කරන බවත් ඒ අනුව මුලික කරුණු 3කට එකඟතාවයක් ඇති කර ගෙන ඉදිරියට යන ලෙසත් උන් වහන්සේ පැවසීය.

ඒ අනුව නව ව්‍යවස්ථා සංශෝධනය නතර කර ගැනීම, දේශීය සම්පත් විකිණීම නතර කිරීම හා බැඳුම්කර හොරුන්ට නිසි දඬුවම් ලබා දීම අයත් වන බව ආනන්ද හිමියන් තරයේ කියා සිටියේය.

(under the courtesy of adaderana.lk news web)

More News »