වකුගඩු පිළිකා හැදෙන්නේ මෙන්න මේ වගේ අයටයි

2017-05-23 11:42:00       703
feature-top
ප්‍රශ්නය - පසුගිය සතියේදී අප මේ තීරය ඔස්‌සේ සාකච්ඡා කළේ වකුගඩු පිළිකා ගැනයි. අද අපි තවදුරටත් ඒ ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙහිදී වකුගඩුව ගැන නැවත වතාවත් මතක්‌ කර දිය යුතුයි. වකුගඩු යුගලයේ ප්‍රමාණයේ මිට මෙලවූ සාමාන්‍ය ප්‍රමාණයේ අතක්‌ හා සමානයි. රතු පැහැයට හුරු දුඹුරු පැහැයකින් යුතු මේ ඉන්ද්‍රිය ඉතාම පහළින් කොඳු ඇට පෙළ දෙපස පිහිටා තිබෙනවා. වකුගඩු පිළිකාවකදී පාලනයෙන් තොරව වර්ධනය වීමට පටන් ගන්නා වකුගඩු සෛල පසුව අර්බුද නමැති ගෙඩි වර්ගය බවට පත්වෙනවා. රුධිරයේ තිබෙන අතිරික්‌ත ජලය, අපිරිසිදු කොටස්‌, ප්‍රමාණය ඉක්‌මවා ගිය ඛනිජ වර්ග පෙරා පිරිසිදු රුධිරය ශරීරයට එකතු කිරීම තමයි වකුගඩුවල කාර්යය. ශරීරයට අත්‍යවශ්‍ය හෝමෝන නිෂ්පාදනයට මෙන්ම රතු රුධිරුනු නිෂ්පාදනයටත් වකුගඩු දායක වෙනවා. අපට වකුගඩු දෙකක්‌ තිබුණට මනුෂ්‍ය ශරීරයේ පැවැත්මට එක වකුගඩුවකිනුත් කොටසක්‌ තිබුණාම ප්‍රමාණවත්. වකුගඩු නරක්‌ වෙනවා කියන්නේ ඒ කුඩා කොටසත් ඉතිරි කොටස්‌ සියල්ලත් විනාශ වූ විටයි.

ප්‍රශ්නය - වකුගඩු පිළිකා වර්ග කීයක්‌ තිබෙනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - Renal Cell Carcinoma ව තමයි ඉතාම වැඩි වශයෙන් පැතිර තිබෙන වකුගඩු පිළිකා වර්ගය. මාරාන්තික වකුගඩු පිළිකාවෙන් 90% ක්‌ම අයත් වන්නේ මෙයටයි. මේ පිළිකාව තවත් උප කොටස්‌ පහකට බෙදිය හැකියි. ඒ ගැන විස්‌තර කිරීම වෛද්‍ය ශිෂ්‍යයන්ට මිස පාඨකයන්ට ප්‍රයෝජනවත් නැත.

ප්‍රශ්නය - වකුගඩු පිළිකාව හැදෙන්නේ කවර හේතු නිසාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - එයට වඩා හොඳයි ඔබ මගෙන් අහනවා නම් වකුගඩු රෝග හට ගන්නේ කොයි වගේ අයටද කියලා.

1. දුම්වැටි උරණ අයට මේ රෝගය වැළඳෙනවා.

2. ගැහැනුන්ට වඩා පිරිමින්ට මෙය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවී සාමාන්‍ය වශයෙන් ගත් කළ හතරදෙනකුට මේ වකුගඩු පිළිකාව හැදෙනවා නම් එයින් තුනක්‌ ම පිරිමි.

3. අවුරුදු 50 -70 වයස්‌ සීමාව අතර සිටින අයට මෙය වැළඳෙනවා.

4. අධික තෙල් සහිත ආහාර ගන්නා අයට වකුගඩු පිළිකාව හැදෙන බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම ස්‌ථුල භාවයෙන් වැඩි අයටත් මෙය වැළඳෙනවා.

5. අධික රුධිර පීඩනය තිබෙන පිරිමින්ට වකුගඩු පිළිකා සෑදීමේ ප්‍රවණතාව වැඩි වේ.

6. පමණ ඉක්‌මවා නිර්වින්දන පෙති සහ වේදනා නාශක පෙති ගන්නා අයට වකුගඩු පිළිකාව වැළඳීමට ඉඩ තිබෙනවා.

7. රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වන අයට වකුගඩු පිළිකාව වැළඳීමේ ප්‍රවණතාව ඉතාම ඉහළයි. විශේෂයෙන් කැඩ්මියම් ලෝහයට නිරාවරණය වන අයට මේ අනතුර තදින්ම තිබෙනවා. බැටරි නිෂ්පාදනය, තීන්ත නිෂ්පාදනය, වෙල්ඩිං කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ නිරත වන අයටත් මේ අවදානම තිබෙනවා. එසේ නිරාවරණය වන අය දුම්පානය කරනවා නම් තත්ත්වය තවත් භයානකයි.

8. ව්‍යායාම නොකර, අලස වෙමින්. නිකරුණේ සිටින අයටත් මේ රෝගය වැළඳෙනවා.

9. ජානමය උරුමයක්‌ ලෙසත් මේ රෝගය හටගන්නවා.

10. Von Hippen lindau යනුවෙන් හැඳින්වෙන රෝග තත්ත්වයක්‌ තිබෙන අයට නිතරම ගෙඩි, වණ, පිළිකා, අර්බුද ඇතිවෙනවා. ඔවුන්ටත් වකුගඩු පිළිකාව හට ගැනීමේ අවදානම ඉතාම වැඩියි.

නොමිලේ විස්‌තර සඳහා
0713464276/ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

divaina.com

More News »