මාලිගාවත්තේ සල්ලි බෙදා දීමක දී කාන්තාවෝ 3ක් තෙරපී මරුට

May 22, 2020 09.01am
feature-top
- තවත් 8කට තුවාල
- ගෙනා ලක්ෂ 4 බෙදලත් නෑ  
- රාමසාන් උපවාස කළ අයට හාජියාර්වරයෙක් සල්ලි බෙදන්න ඇවිත්
- මියගිය තිදෙනා ම වයස 65 පැනලා

පුද්ගලයකු විසින් බෙදාදුන් මුදල් ලබා ගැනීමට යාමේදී සිදු වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු මියගොස් තවත් අටදෙනකු තුවාල ලැබූ අවාසනාවන්ත සිදුවීමක් මාලිගාවත්ත ප්‍රදේශයෙන් ඊයේ (22) වාර්තා විය.

මාළිගාවත්ත ජුම්මා මස්ජීඩ් පාරේ වැසියන්ට රුපියල් ලක්ෂ හතරක මුදලක් ඊයේ බෙදාදීමට ගත් උත්සාවයක දී ඇති වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු මියගොස් තවත් අටදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය කියයි.

දෙහිවල පදිංචිව සිටින හාජ්ජියාර්වරයකු විසින් මෙම ලක්ෂ හතරක මුදල බෙදා දීමට කටයුතු කර ඇත.

අදාළ ස්ථානයට 300කට අධික විශාල පිරිසක් ඇතුළුවීමේ දී හටගත් මෙම තදබදයට ලක්ව තුවාල ලැබූ අයගෙන් සිව්දෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

රුපියල් 5000 බැගින් ආධාර බෙදා දීමට මුල් වූ ව්‍යාපාරිකයා ඇතුළු 6 දෙනකු මාළිගාවත්ත පොලිසිය විසින් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නිරෝධායන නීති සහ දණ්ඩ නීති සංග්‍රය යටතේ වන වැරදි සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇති කාන්තාවන් තිදෙනාම අවුරුදු 65 ඉක්මවූ වයස්ගත කාන්තාවන් වේ.

සිද්ධිය වාර්තා වීමත් සමඟ එම ස්ථානයට පැමිණි මාළිගාවත්ත පොලිසිය තුවාලකරුවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

මෙම සිද්ධියට සැක ව්‍යාපාරිකයා ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරන බව බස්නාහිර පළාත් ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේය.

පොලිස් ප්‍රශ්න කිරීමේදී සැකකාර හාජ්ජියාර්වරයා පවසා ඇත්තේ මුදල් බෙදා දීමට පෙර විශාල ජනතාවක් එකවර රැස්වීම නිසා මේ තත්ත්වය ඇති වුණු බවය. මුදල් බෙදා දීමටද නොහැකි වූ බව ඔහු පවසා තිබේ.

මෙම හාජ්ජියාර්වරයා මෝටර් රථ අමතර කොටස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින්නෙකි. ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානය ඇත්තේද ජුම්මා මජ්ජීඩ් මාර්ගය ආසන්නයේ බව පොලීසිය කියයි. සිය පවුලේ සාමාජිකයින් 13 දෙනෙක් සිටින බවත් ඒ අයගේද සහය ඇතිව වාර්ෂිකව මේ ආකාරයට මුදල් බෙදා දීම් කරන බව හාජ්ජියාර් පොලිස් ප්‍රශ්න කිරීම් වලදී සදහන් කර ඇත. මෙසේ මුදල් බෙදන්නේ පිං තකා බවද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »