කොවිඩ් නීති රීති රාජිතටත් වලංගුයි

May 15, 2020 08.38am
feature-top
පල්ලන්සේන කඳවුරේ ඔහුත් සාමාන්‍ය අයෙක්

සුදු වෑන් රථ සිද්ධියක් මඟින් එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ඇප අවලංගු වූ හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත. පෙරේදා (13) රාත්‍රියේ පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ආ හිටපු ඇමැතිවරයා එහි වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර ඇති අතර, රාජිත සේනාරත්න මහතාට තිබෙන අධික දියවැඩියා රෝග තත්ත්වය සහ ඔහුගේ පෙර වෛද්‍ය වාර්තා සලකා බලා බන්ධානාගාර රෝහල වෙත ඇතුළත් කිරීමට මෙසේ නිර්දේශ කර ඇත.

මේ අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (14) රාජිත සේනාරත්න මහතා බැලීමට බන්ධානගාර පාලනාධිකාරියෙන් අවසර ඉල්ලා ඇති අතර, කොරෝනා මර්දනය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව රැඳවියන්ට පනවා ඇති අමුත්තන් හමුවීමේ තහනම් නීති රීති යටතේ එම ඉල්ලීම බන්ධානාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රතික්ෂේප කර ඇත.

හිටපු ඇමැතිවරයා ද බන්ධානාගාර දෙපාර්තමේන්තුවට සාමාන්‍ය රැඳවියකු බැවින් කොරෝනා මර්දන නීති රීති යටතේ රැඳවියන්ට බාහිර පුද්ගලයන් හමුවීමට පනවා ඇති තහනම ඔහුට ද වලංගු බවත්, පිටතින් ආහාරපාන ලබා දීමට ද අවසර නොලැබෙන බවත් දිනමිණ කළ විමසුමකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

බන්ධානාගාර රැඳවියන්ට බන්ධනාගාරයේ ස්ථාපිත කර ඇති දුරකථන මඟින් තම නිවෙසේ සිටින අයට විනාඩි 3ක් කතා කිරීමට ද ලබා දී ඇති අවස්ථාව රාජිත සේනාරත්න මහතාට ද හිමි වන බවද එම නිලධාරියා කීය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »