ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට උදවු කරනවා - චීන ජනාධිපති

May 15, 2020 08.37am
feature-top
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශක්තිමත් නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය ප්‍රතිඵලදායි ලෙස පාලනය කර ඇති බවත් අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට චීනය ඉදිරිපත් වන බවත් ජනාධිපති ෂී ජින් පින් මහතා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කළ බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

චීනය සහ ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය වැළැක්වීම සහ පාලනය සිදුකරමින් රටේ විවිධ ක්ෂේත්‍රවල සිදුකෙරෙනා සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීම සුදුසු බව චීන ජනාධිපතිවරයා යෝජනා කරයි.

චීන ජනාධිපතිවරයා පෙරේදා (13) රාත්‍රියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සිදුකළ දුරකථන සංවාදයක දී මේ බව ප්‍රකාශ කළ බව චීන තානාපති කාර්යාලය පවසයි.

කොරෝනා වෛරසයට එරෙහිව චීනය මුහුණ දී තිබු තීරණාත්මක මොහොතක ශ්‍රී ලංකා සමාජයේ විවිධ කොටස් තම රටට ලබාදුන් ක්‍රියාකාරී සහාය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර තිබේ.

මුල් අවධියේදී ම ශ්‍රී ලංකාවේ ජනතාව කොරෝනා වසංගතය පරාජය කරනු ඇතැයි චීන ජනාධිපතිවරයා මෙහිදී සිය විශ්වාසය පළකොට ඇති බව ද වාර්තා වෙයි.

වසංගත සමයේ දී තම පුරවැසියන් රැකබලා ගැනීම පිළිබඳව චීන ජනාධිපතිවරයා මෙහිදී ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ස්තූතිය පුදකළ අතර, තම රටේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සහතික කිරීම සඳහා සිය රජය අඛණ්ඩව කටයුතු කරන බවට සහතික කොට තිබෙන බවද එම තානාපති කාර්යාලය පෙන්වාදෙයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »