පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම මෛත්‍රීට-රනිල්ට එරෙහි පෙත්සම් විභාග කිරීමට තීරණය කරයි

May 13, 2020 08.28am
feature-top
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරු දින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය වැළක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දොළහ සැප්තැම්බර් මස 2,3,4 දිනවලදී විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීම සඳහා කටයුතු නොකිරීම නිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම්වල සෙසු වගඋත්තරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් ද වෙති.

වගත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණු අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (12)ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා ඇතැම් පෙත්සම්වලට අදාළව නොතීසි සිය සේවාදායකයාට මෙතෙක් ලැබී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව එම පෙත්සම්වලට අදාළ නොතීසි වගඋත්තරකරුවන්ට ලබන 22 වැනිදාට පෙර යැවීමට කටයුතු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

බුවනෙකබාහු අලුවිහාරේ, එස්. තුරෙයිරාජා, ගාමිණී අමරසේකර යන මහත්වරුන් ගෙන් විනිසුරු මඬුල්ල සමන්විත විය.

එහිදී පෙත්සම්වල වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටි අතර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට ද පෙත්සම් සම්බන්ධ ලියකියවිලි බාර දෙන ලෙස පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට නියම කරන ලදි. එසේම පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ජූනි මස 15වන දිනට පෙර සහ ප්‍රතිවිරෝධතා ජූලි මස 15 දිනට පෙර ගොනු කරන ලෙස ද නියම කළේය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »