මගේ ගුරු පියා කීවේ හොඳ නිළියෙකුට වඩා හොඳ මනුස්සයෙක් වෙන්න කියලා සිනමා­වට අලුත්ම අත්දැ­කී­මක් රැගෙන දුලීකා ඇවිත්

Feb 24, 2020 09.47am
feature-top
මීට වසර විස්සකට පෙර පුංචි තිරයේ දිග හැරුණු එක්තරා ටෙලි නාට්‍යයක එක් චරිතයකට පණ පෙවූ ලස්සන අහිංසක ගැමි පෙනුමක් තිබූ නවක නිළියකගේ ඒ පළ කරන ලද රංගනය දෙස බලා සිටි ශ්‍රී ලාංකේය සුවහසක් රසික ප්‍රජාව එදා යම් ඉඟියක් පළ කළා... ඒ මේ අහිංසක රුවක් හිමි යුවතිය මතු දවසක මේ කලා ලොව හොල්ලන විශිෂ්ට නිළියක වෙනවා නම් නිසැකයි කියා. කීවා මෙන්ම පසුකාලීනව ඇය මෙරට කලා ලෝකය තුළ නොමැකෙන මතක රැසක් තබන්න උපන් හපනියක් වුණා. පුංචි තිරයටත් - රිදී තිරයටත් නැතුවම බැරි දක්ෂ නිළියක බවට පත් වුණා. එදා ‘සඳ අමාවකයි’ ටෙලි නට්‍යයේ “සඳමාලි” ලෙස ජන සිත් මත නතර වූ ඇය අද වෙද්දි රිදී තිරය උඩු - යටිකුරු කළ අති විශිෂ්ට සුපර්ණා ය.

‘මේ දවස්වල හරි බිසි නේද...’

මගේ දරුපැටියා එළියට දැම්ම ගමන්නේ... (මහ හයියෙන් සිනාසෙමින්) ඒ දැනෙන හැඟීම මට වචනවලට ගොනු කරන්න අමාරුයි. සුපර්ණා සුජීවගෙයි මගෙයි කුලුඳුල් දරුපැටියා. තාම එළියට ඇවිත් ටික දවසයි. අපට හුස්මක් ගන්න නෑ. හැබැයි ඒ වුණත් පුදුමාකාර සතුටකින් අපි ඉන්නේ...

ඒ සතුට සුපර්ණා නිසාම...?

අනිවාර්යයෙන්ම.... අම්මෙකුට අලුත උපන් දරුපැටියා ළඟ රැයවල් හතක් නිදි මැරුවත් අපහසුවක් දැනේනවාද... නෑ... නේ... ඒ උතුරායන සෙනෙහස නිසා. මේ වෙලාවේ සුජීවටත් මටත් එහෙමයි. සුපර්ණා එක්ක රට පුරා සෑම සිනමා ශාලාවකටම අපි ගොඩ වදිනවා. ඒ සුපර්ණාට දායක වූ අනිකුත් නළු නිළි කැල සමඟින්ම. රසික ප්‍රතිචාර සුපර්ණා තිරගත වෙන සිනමා ශාලාවක්, ශාලාවක් ගානේම ගිහින්ම ලබන්න අප කැමැතියි.

සුපර්ණා වෙනස්ම කතාවක් රැගත් නැවුම්ම නිර්මාණයක් කිව්වොත්

පසුගිය කාලය පුරාම අපේ සිනමාවේ දිග හැරුණු එක ව‍ාගේම නිර්මාණ රසිකයින් ව හෙම්බත් කරලා තිබුණේ. ඔවුන් අලුත් වෙනසක් බලාපොරොත්තුව උන්නේ. සුපර්ණා ඒ වෙනස රැගත් චිත්‍රපටයයි... මේක අපේ මහ පො‍ළොව හා සම්බන්ධ කතාවක්. මේ සොබාදහම හා සම්බන්ධ කතාවක්. ඉතිං මිනිස්සුන්ට දැනෙනවා හරියට. මම කියනවාට වඩා සුපර්ණා බැලූ විට එය හොඳින්ම දැනේවී.

‘සොබා දහම හේතු කරගෙන නිර්මාණයක් කරන්න හිතුවේ ඇයි...’

මට හොඳ ලස්සන පරිසරයක් තිබුණ ගමක් තිබුණා. ඒ ගමේ ගහ - කොළ - සතා සිවුපාවගේ සුවඳත් එක්ක තමා මම උස්මහත් වුණේ. ගමේ ගහේ - කොළේ හැදුණු දේ තමා වස විසකින් තොරව කෑවේ - බීවේ. අද එය වෙනස් වෙලා - මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා ඒ සොඳුරු ගම නාස්ති වෙලා. අද හේතුවක් නැතුව ගස් කපා බිම දමනවා. කොළඹ නගරයේ අවුරුදු ගණන් සෙවණ දුන් මහරුක්ෂයන් කපා බිල්ඩින් ඉදිකරනවා. එවිට නගරයට ඔක්සිජන් එන්නේ කොහොමද... හරි අවාසනාවක් ඒ තත්ත්වය. මිනිසුන් මේ විඳවන්නේ සොබාදහම පිරිහීමේ විපාකයි. අපේ රටේ දේ අපිට අද අහිමි වෙලා. අපේ පලතුරු ටික කොටුවෙ හැදෙන එළවළු ටික යන්නේ පිටරටට.. මහ පො‍ළොවට මේ වෙනස දැනෙනවා. අපිට ආදරය කරන්න රටක් තිබෙන්න ඕනා. සුපර්ණා හරහා කතා කරන්නේ මෙයයි.

‘සුපර්ණා එළියට ආවේ හරි අපූරු දවසක නේද?’

ආදරය කියන්නේ ලෝකේ තියෙන හදවතට දැනෙන ලස්සනම වචනය.. ඉතිං පෙබරවාරි 14 මෙය තිරයට ආපු එක ගැන මට සතුටුයි. සුපර්ණා බලපුහාම මිනිස්සුන්ට තේරෙයි මුලින්ම ආදරය කරන්න මහ පො‍ෙළ­ාවක් තිබෙන්න ඕන කියලා. තරුණ අය හරි උනන්දුවෙන් බලා උන්නේ සුපර්ණා එනතුරු. සිනමාවේ නැවුම් අත්දැකීමක් බවට සුපර්ණා පත්වන බවට මට විශ්වාසයි.

කාලයකට පසු පුංචි තිරයෙනුත් අපි ඔබව දකිනවා.

අවුරුදු 2 ½කට පසු තමා ඔය ‘සිහිනි’ ටෙලි නාට්‍යය බාර ගත්තේ. කතා කළත් ගියේ නෑ ටෙලි නාට්‍ය පැත්තට පහුගිය කාලයේම. ඉතිං හොඳ ප්‍රතිචාර ‘සිහිනි’ ටත් ලැබෙනවා. තලතා කියන ආදරණීය මවකගේ චරිතය මෙහි මම රඟපාන්නේ. මවකගේ සෙනෙහස ඒ චරිතය පුරාම තියනවා. ඉතිං එකම කාලයක වෙනස්ම චරිත‍ දෙකකින් රදී තිරයටත් - පුංචි තිරයටත් ගොඩ වදින්න ලැබීම විශාල භාග්‍යයක්.

‘මේ සියල්ල මැද කො‍හොමද සුජීවගෙත් ඔබගේත් ජීවිතය ගලා යන්නේ...’

ඉතාම හොඳ... සුන්දර... ජීවිතයක් අපි මනා අවබෝධයකින් ගත කරනවා. සුජීව ව‍ාගේ යහපත් කෙනෙක් බුද්ධිමත් කෙනෙක් මගේ ස්වාමියා වීම ලොකු සතුටක් - ලොකු අයියා කෙනෙක් දඟකාර - කටකාර - විසේකාර නංගි කෙනෙක්ව රැකබලා ගන්නවා සේ ඔහු ද මාව රැක බලා ගන්නවා. අපි ආදරයෙන් ජීවිතයට මුහුණ දෙනවා.

දූලිකා මාරපනට ආදරය කරන බොහෝ දෙනා වෙනුවෙන් යමක් කියන්න...’

මහ පාරට බැස්සහම සමහර අය දුවගෙන ඇවිත් මාව බදාගෙන අඬනවා. ඒ මාව දැකීමේ සතුටටලු. ඉතිං මං හම්බ කළ ලොකුම ධනය ඒක. බන්දුල ජයවර්ධන මගේ ගුරු පියා මට කීවේ දුවේ හොඳ නිළියකට වඩා හොඳ මනුස්සයෙක් වෙන්න කියලා. අද මට සතුටුයි. මම ඒ ඉල්ලීම ඉටු කළා. මම මේ සමාජය එක්ක ජීවත්වන නිළියක් - තරු දිස්නය අත්හැර දැමූ නිළියක් මේ සා ආදරයක් මට සමාජයෙන් ලැබෙන්නේ ඒ නිසයි.

ඉතින් කොයි කාටත් කියන්නේ මේ ගහට - කොළයට ආදරයෙන් අපේකම රැකගෙන මේ පොළවේ ජීවත් වෙන්න කියලා. එහි ප්‍රතිඵල බොහෝම ආදරණීයයි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »