කොරෝනා මඬින නව ඖෂධයක් වෛද්‍ය වසන්ත වික්‍රමාරච්චි සොයාගනී

Feb 05, 2020 09.35am
feature-top
කොරෝනා වෛරසය පාලනය සඳහා ආයුර්වේදයෙන් නව ඖෂධයක් සොයා ගැනීමට ආණමඩුව ගල්ලෑව සුව පියසේ පාරම්පරික වෛද්‍ය වසන්ත වික්‍රමාරච්චි මහතා සමත්ව තිබේ.

නව ආයුර්වේද ඖෂධය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පිළිගැන්වීම පසුගියදා සිදු කෙරිණ.

කොරෝනා වෛරසයට මෙතෙක් කිසිදු බෙහෙතක් නොවන නිසා ශරීර ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් කටයුතු කළ යුතු බවට ආයුර්වේද වෛද්‍යවරු මෙහිදී පෙන්වා දී තිබේ. ඒ සඳහා ප්‍රතිශක්තිකරණය වඩවන ආවේණික පාරම්පරික දේශීය ආහාර ලබා ගැනීමට වැඩි වශයෙන් ජනතාව යොමු කළ යුතු බවත් කොරෝනා වෛරසය ද සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වෛරස් මෙන් පැතිරෙන නිසා දුම් ඇල්ලීම මඟින් එය පාලනය කර ගත හැකි බවත් එම වෛද්‍යවරු පවසති.

කෙරෝනා වෛරස් රෝගය ඇතුළු වෛරස් රෝග මැඩලීමට සහ පාලනයට ආයුර්වේදයේ ඇති පිළියම් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම පිළිගැන්වීම සිදුකෙරිණ.

සෙම්ප්‍රතිශ්‍යයාව පැතිරෙන වෛරසය මෙන් කොරෝනා වෛරසයේ ද පැතිරීම සිදු වන අතර ආසාදිත සතුන්, පුද්ගලයින්ගේ කැස්ස සහ කිවිසුම් යෑම, පරිසරයට එකතු වන වෛරස මඟින් ආසාදිත පුද්ගලයකුගේ දෑත් හෝ මුහුණ ස්පර්ශ කිරීමෙන්, ඔවුන් පරිහරණය කරන උපකරණ ස්පර්ශ කිරීම යනාදියෙන් ව්‍යාප්ත වේ. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දේශීය වෛද්‍ය ක්‍රමයේ ඇති වෛද්‍ය උපදෙස්, ප්‍රතිකර්ම හා ඖෂධ පිළිබඳවත්, ඉදිරියේදී වෛරසය පැතිරීම පාලනයට දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් ගත හැකි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතු ආකාරය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම මෙහිදී සිදු කෙරිණ.

වසංගත රෝග පාලනය කිරීමට දේශීය ආයුර්වේද ක්‍රමයේ හැකියාවක් තිබෙන බව පෙන්වා දෙමින් කොරෝනා වෛරසය මැඩලීමට ආයුර්වේද පිළියම් හා උපදෙස් ඇතුළත් අත්පත්‍රිකාවක් ඔවුහු සකස් කර තිබේ. කොරෝනා වෛරසය ව්‍යාප්ත වන ආකාරය, පහසුවෙන් ගොදුරු විය හැකි පුද්ගලයින්, ඇතිවන සංකූලතා, ආසාදිතයන් හඳුනා ගන්නා ආකාරය, බෝ වන රෝග පිළිබඳ ආයුර්වේදයේ දැක්ම, ආසාදනය වැළැක්වීම සඳහා ආයුර්වේද ප්‍රතිකර්ම, රෝගීන්ට සුදුසු දෑ යනාදි කරුණු එම පත්‍රිකාවේ අන්තර්ගත වේ.

ජනතාව අතර බෙදා හැරීමට සහ අත්පොතක් මඟින් වෛරසය පිළිබඳ හා ඉන් ආරක්ෂා වීමට ගත යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පියවර ගත් බව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා මෙහිදී ප්‍රකාශ කෙළේය.

රෝග පාලනය සහ පැතිරීම වැළැක්වීමට දේශීය වෛද්‍ය ක්‍රමයෙහි පවතින ක්‍රමවේදයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය ක්‍රියා කළ යුතු බවත්, ඒ සඳහා මාධ්‍ය සහයෝගය ලබාදෙන මෙන් ඉල්ලා සිටින බවත් කුමාරතුංග මහතා පැවැසුවේය.

බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ රුපියල් බිලියන 120 ක් මෙම වසරේ ඖෂධ සඳහා වෙන් කිරීමට සිදුව ඇති බවත් එය රටක් වශයෙන් සතුටු විය තත්ත්වයක් නොවන බවත් සෞඛ්‍ය ඇමැතිවරිය මෙම සාකච්ඡාවේදි පැවැසුවාය.

රටේ අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පමණ දේශීය ඖෂධ නිෂ්පාදනය කළත් එය ජනතාව අතරට යෑමේ ගැටලුවක් පවතින අතර දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ නව ආයුර්වේද නිෂ්පාදන ආයුර්වේද දෙපාර්තමේන්තුව හා සංස්ථාව මඟින් වෙළෙඳපළෙට ඉදිරිපත් කිරීමේ වැදගත්කමත්, රාජ්‍ය ඖෂධ සංස්ථාව සමඟ එක්ව ආයුර්වේද නිෂ්පාදන අලෙවි කිරීමට කටයුතු කිරීමේ ඇති වැදගත්කමත් ඇමැතිවරිය අවධාරණය කළාය.

මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනී නීතීඥ සාගලා අභයවික්‍රම, බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ස්වර්ණා කළුතොටගේ, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහත්ම මහත්මීන් ද, පාරම්පරික දේශීය වෛද්‍යවරුන් ද, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් ද, පාරම්පරික ශාස්ත්‍රීය වෛද්‍යවරුන් ද සහභාගි වූහ.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »