ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව සහතික කරනවා

Feb 01, 2020 08.53am
feature-top
කොරෝනා වෛරසය පැතිර ඇති චීනයේ වුහාන් පළාතේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතික වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂුයෝන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කළේය.

අරලියගහ මන්දිරයේ දී පෙරේදා (30) අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ තානාපතිවරයා මේ බව පැවසූ අතර, වුහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් හා ඔවුන්ගේ පවුල්වල සියලු අවශ්‍යතා ද චීන රජය විසින් සපුරනු ලබන බවත් තානාපතිවරයා කියා සිටියේය.

හැකි ඉක්මණින් එම සිසුන් හා පවුල්වල පිරිස් ශ්‍රී ලංකාවට ගෙන්වීමට අවශ්‍ය කරන පියවර ගන්නා බවත් ඒ සඳහා දෙරට අතර සාකච්ඡා සිදු වන බවත් පැවැසූ ඒ මහතා, විශේෂ ගුවන් යානයක් වුහාන් වෙත ගොඩ බැස්වීමේ කටයුතු වෙනුවෙන් රාජ්‍යයන් දෙක සමීපව කටයුතු කරන බවත් කීවේය.

ඉතා ඉක්මනින් පැතිර යන මේ වෛරසය පාලනය කිරීම සඳහා චීන රජය මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් මෙහිදී තානාපතිවරයා අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දුන්නේය. වුහාන්වල සිටින සිසුන්ගේ මවුපියන් සහ පවුල්වල සාමාජිකයන් මේ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී තානාපතිවරයාට කියා සිටියේය.

කොරෝනා වෛරසය පැතිර යෑම පිළිබඳ තොරතුරු බෙදා ගැනීමේ දී වගකීමෙන් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් සහ මාධ්‍යයෙන් තමා ඉල්ලා සිටි බව ද රාජපක්ෂ මහතා පැවසීය. මේ තත්ත්වය මෙරට වෙසෙන චීන ජාතිකයන්ගේ දෛනික ජීවිතයට ගැටලුවක් නොවන බව ද අගමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »