රියැදුරු බලපත මුද්‍රණය අවසන් වූ වහාම අයදුම්කරුට කෙටි පණිවිඩයක්

Dec 28, 2019 11.19am
feature-top
රියැදුරු බලපත් අපේක්ෂකයකු විසින් ඉල්ලුම් කරන ලද රියැදුරු බලපත්‍රය එක් දින සේවාව හෝ සාමාන්‍ය ආකාරයට ලබා ගැනීමේ දී එය මුද්‍රණය කර අවසන් වූ පසු අයදුම්කරුට දුරකතන කෙටි පණිවිඩයක් මගින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ ලබන ජනවාරි 01 වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට වේරහැර රියැදුරු බලපත් කාර්යාලය විසින් පියවර ගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පෙරේදා හිටි හැටියේ වේරහැර රියැදුරු බලපත් කාර්යාලයට පිවිස එතුළ නිරීක්ෂණ චාරිකාවක යෙදුන අවස්ථාවේ රියැදුරු බලපත් ලබා දෙන තෙක් එහි සිටි අයදුම්කරුවන් විසින් මෙසේ දුරකතනයට කෙටි පණිවිඩයක් ලබා දීමේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරනු ලැබිණි. මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද අදහස් පළ කර තවත් මේ ආයතනයේ කටයුතු පහසුවෙන් කර ගෙන මහජනතාවට උසස් සේවයක් ලබා දෙන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය උපදෙස් ද ලබා දී තිබුණි. ඒ අතර එම කාර්යාලයේ ඇති දුර්වලතා නැවත සකස් කර ගැනීමට මාසයක කාලයක් ලබා දුන් අතර, ඊයේ එම වේරහැර කාර්යාලයේ ප්‍රධානි සහකාර කොමසාරිස් සමන්ති මිහිදුකුල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෙසු නිලධාරීන් ද කැඳවා සාකච්ඡාවක් පවත්වා මෙහි ඇති සියලු අඩු පාඩු සොයා බලා සකස් කිරීමට අවශ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබිණි.

ඒ අනුව මේ වැඩපිළිවෙළ ලබන ජනාවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට දුරකතන ආයතන හා සම්බන්ධ වී කඩිනම් පියවර ගෙන ඇති බව හෙළිදරව් විය.

මේ අනුව දිනකට වේරහැර කාර්යාලයට පැමිණ රියැදුරු බලපත් අයදුම් කරන පිරිසට අමතරව දිවයින පුරා කච්චේරිවලින් රියැදුරු බලපත් අයදුම්කරුවන් ද ඇතුළත්ව දෙතුන් දහසක පිරිසක් රියැදුරු බලපත් ඉල්ලා සිටිති. එක් දින සේවාව වේරහැර කාර්යාලයෙන් ප්‍රායෝගික පුහුණුව සඳහා ඉදිරිපත් වන පිරිසට පමණක් හිමි වෙයි. සෙසු පළාත්වලින් අයදුම් කරන පිරිසට මාසයක පමණ කාලයක් තුළ රියැදුරු බලපත්‍රය තැපැල් මගින් ලබා දෙනු ලබයි. මේ කුමන ක්‍රමය මත හෝ වේවා මේ කෙටි පණිවිඩ සේවාව හරහා අයදුම්කරුවන් දැනුවත් කර එය ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම සිදු කරනු ලබයි.

මීට අමතරව රියැදුරු බලපත් අලුත් කිරීම, භාවිතයට ගත නොහැකි රියැදුරු බලපත් නැවත සකස් කිරීම, නැති වූ රියැදුරු බලපත් වෙනුවට වෙනත් රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ඇතුළු රියැදුරු බලපත් හා සම්බන්ධ විවිධ ගැටලුවල දී නව රියැදුරු බලපත් නිකුත් කෙරෙන අතර, ඒ සෑම රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේදීම මේ කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක වෙයි.

මීට අමතරව ජනාධිපතිවරයා පෙන්වා දුන් එම දෙපාර්තමේන්තුවේ විවිධ අඩුපාඩුකම් සහ තවත් එහි පවතින බොහෝ අඩුපාඩු ගැටලු ඉතා කඩිනමින් සකස් කිරීමට පියවර ගැනීමටත් මේ සාකච්ඡාවේදී තීරණය කෙරිණි.

මීට අමතරව රියැදුරු බලපත්‍රය රුපියල් තුන්සියයක පමණ මුදලකින් මුද්‍රණය කිරීමට හැකියාව තිබිය දී ඒ සඳහා පිටස්තර පුද්ගලික ආයතනයකට රුපියල් එක්දහස් තුන්සියයක පමණ මුදලක් ගෙවීම හරහා රජයට විශාල ආදායමක් අහිමි වී ඇත. මීට වසර ගණනාවක සිට මේ විශාල මූල්‍ය හානිය සිදු වෙමින් පවතිද්දී ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ කිසිදු කොමසාරිස්වරයකු එම හානිය නැවැත්වීමට පියවර ගෙන නැත. මේ සම්බන්ධයෙන් කොමිසමක් පවත්වා මෙතරම් මූල්‍ය හානියක් සිදු කරනු ලබන මේ ටෙන්ඩරය ගැන සොයා බලා වාර්තා කිරීමට ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීර මහතා කොමිසමක් පත් කිරීමට පියවර ගෙන තිබේ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »