ඉන්දියාවේදී ජනපතිට හරසර

Nov 29, 2019 10.12am
feature-top
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉන්දීය රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ. සිං මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබූ අයුරු.

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(28) පස්වරුවේ නවදිල්ලි නුවරට ළඟා විය.

ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස පිළිගනු ලැබුවේ ඉන්දීය රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ. සිං මහතා විසිනි. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. පිළිගැනීමේ උළෙල වර්ණවත් සංස්කෘතිකාංගයකින් ද අලංකාරවත් විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා සිය පළමු විදේශ සංචාරය සනිටුහන් කරමින් ඉන්දියාවේ දෙදින නිල සංචාරයකට එක්ව සිටී.

සිය සංචාරයේ දී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා හමුවන ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වේ.

එමෙන්ම ජනාධිපතිවරයා සෙසු ඉන්දීය ප්‍රභූවරුන් ද මුණ ගැසෙනු ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල, ජනාධිපතිගේ උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහත්වරු ද චාරිකාවට එක්ව සිටිති.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »