දි මු ගේ දේහය ගුවනින් මැතිසබයට

Nov 23, 2019 09.07am
feature-top
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයකු වන දිවංගත දි. මු. ජයරත්න මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, කතානායක කරු ජයසූරිය මහත්වරු ප්‍රමුඛ මැති ඇමැතිවරු ඊයේ (22) සිය අවසන් ගෞරවය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පුද කළහ. දි. මු. ජයරත්න මහතාගේ දේහය ඊයේ ගම්පොළ පිහිටි ඒ මහතාගේ නිවසේ සිට පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත ගුවන් මගින් රැගෙන ආ අතර, පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ සිට පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණි අවමංගල රථ පෙරහර අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුන් ප්‍රමුඛ පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් පිළිගත්හ. පස්වරු 1.15ට පමණ රැගෙන ආ දි. මු. ජයරත්න මහතාගේ දේහය පිළිගැනීමෙන් පසු අගමැතිවරයා ප්‍රමුඛ මැති ඇමැතිවරු විසින් රතු පලස මතින් රැගෙන ගොස් පාර්ලිමේන්තු ආලින්දයේ පිහිටි විශේෂ පීඨිකාව මත තැන්පත් කෙරිණි.

දි. මු. ජයරත්න මහතාගේ දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඒ මහත්මිය පස්වරු 1.30ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අතර, අවසන් ගෞරව දැක්වීමෙන් පසු ශෝකය සටහන් කරන සමරු ලේඛනයේ සටහනක් ද තැබීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද දි. මු. ජයරත්න මහතාගේ දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා පස්වරු 2.15ට පමණ පැමිණියේය. දි. මු. ජයරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය, මැති ඇමැතිවරුන්, විදෙස් නි‍යෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.

අවසන් ගෞරව දැක්වීමෙන් පසුව දි. මු. ජයරත්න මහතාගේ දේහය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරු, දේශපාලන නියෝජිතයන් විශේෂ පීඨිකාවෙන් රැගෙන අවමංගල රිය වෙත රැගෙන යෑම සිදුවිය.

දි. මු. ජයරත්න මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ආ ඊයේ දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණය ස්වේත ධජවලින් සරසා තිබිණි.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »