හැකි පළමු අවස්ථාවෙම මහ මැතිවරණයක්

Nov 23, 2019 09.06am
feature-top
ව්‍යවස්ථානුකූලව හැකි පළමු අවස්ථාවේදීම මහජන මතය උරගා බැලීම සඳහා මහ මැතිවරණයක් පවත්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මහ මැතිවරණය පැවැත්වෙන තෙක් මේ අන්තර්කාලීන රජය ස්ථාපිත කරන ලද්දේ ජනාධිපතිවරණයේ දී ජනතාව හමුවේ තැබූ පොරොන්දු ඉටු කිරීම සඳහා බවත් රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ නව ඇමැති මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (22) එක්වෙමිනි.

පසුගිය වකවානුව තුළ මේ රටේ මහජනතාව පැවතෙන දේශපාලන සංස්කෘතියට විශාල අප්‍රසාදයක් පළ කළ බව කී රාජපක්ෂ මහතා නව රජය එම සංස්කෘතියෙන් පිටතට පැමිණ ජනතාව බලාපොරොත්තු වන නව යුගයකට යා යුතු බවත් පැවසීය.

එබැවින් මේ කාලය තුළ උපරිම හැකියාව යොදා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට කැපවිය යුතු බවත් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

එසේම අමාත්‍යාංශ යටතේ පවත්නා රාජ්‍ය ව්‍යවසාය සහ සංස්ථා බොහෝ පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බැවින් ඒවා සියල්ල ලාබ ලබන සහ මහා භාණ්ඩාගාරයට බරක් නොවන තත්ත්වයට පත් කළ යුතු බවත් රාජපක්ෂ මහතා කීවේය.

එමෙන්ම එම ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේ දී එම කාර්ය ඉටු කළ හැකි සුදුසුකම් මෙන්ම වෘත්තීය දැනුමකින් යුක්ත පුද්ගලයන් තෝරා ගැනීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අමාත්‍යාංශවල පවත්නා නිපුණතාවක් අවශ්‍ය නොවන පුරප්පාඩු පිරවීමේ දී ඇමැතිවරයාගේ ආසනයට ප්‍රමුඛතාව ලබානොදී රට පුරාම සිටින අඩු ආදායම්ලාභීන්ට අවස්ථාව ලැබෙන අන්දමට කටයුතු කළ යුතු බවත් රාජපක්ෂ මහතා සිහිපත් කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, අගමැති ලේකම් ගාමිණි සෙනරත් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »