සෙත් පිරිත් මැද නව ජනපති රාජකාරි අරඹයි

Nov 20, 2019 10.18am
feature-top
ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නයේ සෙත් පිරිත් මධ්‍යයේ ඊයේ (19) පෙරවරු 10.51 ට යෙදී තිබූ සුබ මොහොතින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ධුරයේ වැඩ ආරම්භ කෙළේය.

ජය සක් බෙර හඩ මධ්‍යයේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහත්වරුන් පිළිගත් අතර ඉන් අනතුරුව රතු පලස දිගේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ තනා තිබූ විශේෂ පීඨිකාව වෙත පැමිණියේය. එහිදී යුද හමුදාව ආචාර වෙඩි මුර විසි එකකින් උත්තමාචාරය පිරිනැමිණි. ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදා උත්තමාචාරය පිළිගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න , යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහත්වරුන් පෙරටු කැර ගනිමින් රාජකාරී ආරම්භ කිරීම සඳහා නිල කාර්යාලය වෙත පැමිණියේය.

එහිදී අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද , මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සෙත්පිරිත් සඡ්ඡායනා කරමින් පිරිත් නූල් බැඳ සෙත් පැතූහ. ඉන් අනතුරුව නව ජනාධිපතිවරයා සිය මුල්ම රාජකාරිය ලෙසන් ජනාධිපති ලේකම් ධූරය සඳහා ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පත්කර ඔහු වෙත පත්වීම් ලිපිය පිරිනැමීය.

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභියසදී පෙරේදා ( 18) දිවුරුම් දුන්නේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී .එල්.පීරීස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, කෙහෙළිය රඹුක්වැල්ල, පියල් නිශාන්ත මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඊයේ (19) පෙරවරුවේ පැවැති ත්‍රිවිධ හමුදා උත්තමාචාර නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් අයුරු. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහත්වරුන් මේ අවස්ථාවට එක්වූහ

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »