ඇවන්ගාඩ් සිද්ධිය: විජයදාස-ගම්ලත්ගේ ප්‍රකාශ ගැන විමර්ශන කළ යුතුයි

Oct 26, 2019 09.36am
feature-top
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධව හිටපු අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ හිටපු සොලිසිටර් ජනර‍ාල් සුහද ගම්ලත් යන මහත්වරුන් සිදුකර තිබෙන ප්‍රකාශ සැලකිල්ලට ගෙන එම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කොට විමර්ශනය කළ යුතු බව හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න මහතා ප්‍රකාශ කළේය.

නීතපති හෝ සොලිසිටර් ජනරාල්ගේ අනුදැනුමකින් තොරව ඇවන්ගාඩ් නඩුවේ කෙටුම්පතට තමා අත්සන් තැබූ බවට විජයදාස රාජපක්ෂ සහ සුහද ගම්ලත් යන මහත්වරුන් ප්‍රකාශ කර තිබෙන නමුත් එය කිසිදු සත්‍යතාවකින් තොර දේශපාලන අරමුණින් සිදුකරන ලද ප්‍රකාශයක් බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙලෙස අදහස් දැක්වූයේ රාජගිරිය ෆුඩ්සිටි ගොඩනැගිල්ලේ ඊයේ (26) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ තමන් තම රාජකාරිය නීත්‍යානුකූලව ඉටුකළ බවත් කිසිදු දේශපාලන කණ්ඩායමකට තමා අයත් නොවන බවත් ය.

ඇවන්ගාඩ් සිද්ධියට අදාළව පරීක්ෂණ සිදු කිරීමේදී එම නැව තුළ කිසිදු පාලනයකින් තොරව ආයුධ පරිහරණයට ඉඩ ලබා දී තිබෙන ආකාරයත් ආයුධ 3000ට අධික ප්‍රමාණයක් කිසිම බලපත්‍රයකින් තොරව තබාගෙන සිටි ආකාරය පිළිබඳවත් තමන් වීඩියෝ සහ ඡායාරූප තබාගෙන සිටින බවත් ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න මහතා පවසා සිටියේය.

එමෙන්ම තමන් දේශපාලන ප්‍රයෝජන උදෙසා කිසිදු කටයුත්තක නිරත නොවූ බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් වර්තමාන නීතිපති ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවටත් වැඩිදුරටත් අදහස් දක්වමින් වසන්ත නවරත්න මහතා ප්‍රකාශ කළේය.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »