එජාපයෙන් ඈත් වූ සැමට එක්වන්නැයි සජිත්ගෙන් ඇරයුම්

Sep 25, 2019 09.53am
feature-top
පක්‍ෂයෙන් ඈත්වූ සියලු දෙනාට රට ගොඩනැගීමේ වැඩසටහනට යළි තමා සමඟ එක්වන ලෙස නියෝජ්‍ය නායක අැමැති සජිත් ප්‍රේමදාස මහතා ඇරයුම් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කැර තිබේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

විවිධ මතවාදයන් නිසා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත් ව සිටින බොහෝ පිරිසක් අද පක්‍ෂය වෙනුවෙන් කටයුතු කිරීමේ අපේක්‍ෂාවෙන් සිටින බව මම දන්නවා.මතවාද යනු සාකච්ඡා කොට විසඳා ගැනීමට කටයුතු කළ හැකි කරුණු මිස වෙන්වීමට සාධක නොවේ.එබැවින් විවිධ මතවාදී අරගල නිසා පක්‍ෂයෙන් ඈත්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් පරිත්‍යාගයෙන් කටයුතු කළ සියලු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරු, සියළු පළාත්පාලන මන්ත්‍රීවරු, ඇතුළු පක්‍ෂ නියෝජිතයින්ට යළිත් පක්‍ෂය සහ ජනතාව ජයග්‍රහණය කරවීමට අත්වැල් බැඳගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

විශේෂයෙන්ම පක්‍ෂයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කළ,අසීරුතම අවස්ථාවේ පක්‍ෂයට ශක්තියක් වූ බිම් මට්ටමේ සිට පක්‍ෂ සංවිධාන ජාලය ගොඩනැගිය හැකි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මැතිතුමාට පක්‍ෂයේ අභිමානය ගොඩනගමින් රට ගොඩනැගීමේ වැඩසටහනට තමා සමඟ එක්වන ලෙස ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටින බව එම නිවේදනයේ සඳහන් වෙයි.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »